Thursday, February 13, 2014

සිතින් අල්ලා ගැනීම හොඳ නැහැ...

බුදුරජාණන් වහන්සේ කපිලවත්ථු නුවර නිග්‍රෝධාරාමයේ වැඩ වසන කාලෙ එක දවසක් උදේවරුවේ පිණ්ඩපාතයේ වැඩල දවල්වෙලාව අසළ වනයක බෙලිගසක් යට වාඩි වී විවේක ගත්ත. ඒ වෙලාවෙ දණ්ඩපාණී කියන ක්ෂත්‍රිය කුමාරය ඇවිත් ප්‍රශ්නයක් ඇහුව.“බුදුරජාණන් වහන්ස, ඔබවහන්සේ කුමන වාදයක් දේශනා කරන කෙනෙක් ද?”

“දණ්ඩපාණීය, මම ලෝකය හා සත්වයා ගැන යථාර්ථය පැහැදිලි කරන කෙනෙක්. යථාර්ථය තේරුම් ඇරගෙන කාම, භව, විභව සඤ්ඤාවලින් වෙන් වෙලා ඉන්න කෙනෙක්” ඒක අහල දණ්ඩපාණී ක්‍ෂත්‍රිය ඔළුවත් සොලවා සැරයටියත් වනමින් යන්න ගියා. එදා සවස දම්සභා මණ්ඩපයේ දී භික්ෂූන් අතර මේ ගැන සාකච්ඡාවක් ඇතිවුණා. ඒ වෙලාවෙ බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩියා. එක් භික්ෂුන් වහන්සේ නමක්“ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ දණ්ඩපාණී ක්ෂත්‍රියාට දේශනා කළ කාම, භව, විභව සඤ්ඤාවලින් වෙන් වෙලා සිටින ආකාරය පැහැදිලි කරන්න” කියල ඉල්ලා සිටියා.

“මහණෙනි, යම් කිසි භික්ෂුවක් හෝ පුරුෂයෙක් කාමයන් හා සම්බන්ධකම් නැතිව සැකයක් කුකුසක් භව රාගයත් දුරුකරල සිටිනවා නම් ඔහු මේ ලෝකයේ ප්‍රමාදයට හේතුවන සඤ්ඤා හා නාම ව්‍යවහාරයන් ඇරගෙන නිතර හැසිරීම නැති වෙනවා.”

මෙසේ කෙටියෙන් ධර්ම දේශනා කරල බුදුරජාණන් වහන්සේ වැඩියා. ඒක තේරුම් ගන්න අපහසු වුණු භික්ෂූන් වහන්සේලා මහා කච්චායන මහරහතන් වහන්සේ සොයා ගෙන ගොස් විස්තර කරල දෙන ලෙස ඉල්ලා සිටියා.

“ඇවැත්නි, ඇසත් රූපයත් නිසා චක්ඛුවිඤ්ඤාණය ඇති වෙනවා. ඇස, රූපය හා චක්ඛු විඤ්ඤාණය කියන මේ තුන ම එකතු වුණාම ඵස්සය හෙවත් ස්පර්ශය ඇති වෙනවා. ඇසට රූප ස්පර්ශ වුනොත් වේදනාවක් ඇතිවෙනවා. චක්ඛුවිඤ්ඤාණයට වේදනාව දැනුනාම ඒ වේදනාව සැප එකක් ද? දුක් සහිත එකක් ද? කියල දැනගන්නවා. මේ විදියට ස්වභාවය තේරුම් ගත්තාම ඒ වේදනාව ගැන කල්පනා කරනවා. ඒ වේදනාව ගැන කල්පනා කිරීම නිසා ඒ රූපයට සම්බන්ධ සඤ්ඤා හා නාම සමග නිතර හැසිරෙනව.

එහෙම සඤ්ඤා නාම සමඟ හැසිරෙන කොට අතීත, අනාගත හා වර්තමාන කාලවලත් ඒ රූපය හා සම්බන්ධව ගත් රූප මතක් වෙනවා. එනිසා ඇවැත්නි, ඇස තියෙනවා නම් ඇසට රූප හමු වී චක්ඛු විඤ්ඤාණය ඇතිවෙනවා. මේවා එක්වීමෙන් ඵස්සයත් එයින් වේදනා, සඤ්ඤා, විතක්ක හා පපඤ්චයත් ඇති වෙනවා. මේ පපඤ්චයන් හා සම්බන්ධ සඤ්ඤා හා නාම ව්‍යවහාර අල්ලා ගෙන ලෝකයා වෙහෙසට පත්වෙනවා. මේ විදියට ඇස, කණ, නාසය, දිව ශරීරය, මනස කියන ඉන්ද්‍රියයන් හයෙන් ම රූප, ශබ්ද, ගනධ, රස, ස්පර්ශ හා ධර්ම කියන අරමුණු හය අල්ලා ගෙන ලෝකය වෙහෙසට පත්වෙනවා කියල මහා කච්චායන මහරහතන් වහන්සේ පැහැදිලි කළා.

මිනිස්සු ලස්සන කාන්තාවක් දැක්කොත් කැමරාවකින් වගේ ඇයගේ රූපය මනසට ගන්නවා. ඒ කාන්තාවගේ රූපයේ ලස්සන ගැන නැවත නැවතත් හිතල නොයෙක් අංග ලක්ෂණ නාම ව්‍යවහාර වශයෙන් හිතේ තියා ගන්නවා. ඒ කාන්තාව ඊට පෙර දැකල තියෙනවා නම් ඒ අතීත මතක සටහන් සමඟ සසඳල නැවත නැවතත් මතකයේ තබා ගන්නවා. මතකයේ රැඳුන ඒ ලස්සන කාන්තා රූපය පිළිබඳව අතීත අනාගත, වර්තමාන රූප ගැන සිහිපත් කරනවා. නාම ව්‍යවහාරයන් සම්බන්ධ කරගෙන කෙරෙන මේ සිහිපත් කිරීම නිසා ආශාවක් ඇති වෙනවා.

රූපයට ඇති ආශාව නිසා රූපය අල්ලා ගන්නවා. මෙසේ ආශාවෙන් අල්ලා ගන්නා රූප මතකයේ රැඳිලා ගොඩ ගැසෙනවා. ඒවාට කියන්නේ රූප උපාදානක්ඛන්ධ කියල. මේ විදියටම කණෙනුත් ශබ්ද රූප අල්ලා ගෙන ගොඩ ගහ ගන්නවා. නැහැයෙන් ගන්ධ රූපත් , දිවෙන් රස රූපත්, ශරීරයෙන් ස්පර්ශ රූපත් , මනසින් ධම්ම රූපත් අල්ලා ගෙන ගොඩ ගහගන්නවා. මෙසේ ඉන්ද්‍රියයන්ගෙන් රූප උපාදාන වශයෙන් අල්ලා ගෙන රූප ගොඩගසාගැනීම නිතරම මිනිස්සු කරනවා. කැමරාවක ඡායාරූප ගබඩාව වගෙ මේවා එකතුවෙලා තියෙනවා.

මේ මනස නැමැති කැමරාවට රූප ගන්න පුළුවන් කාච හයකින්. ඇස නැමැති කාචයෙන් ගන්නේ ලෝකයේ තියෙන රූපවල ඡායාරූප, කන නැමැති කාචයෙන් ගන්නේ ලෝකයේ තියෙන ශබ්දවල ඡායාරූප, නැහැය නැමැති කාචයෙන් ගන්නේ ගන්ධ නැමැති ඡායාරූප. දිව නැමැති කාචයෙන් ගන්නේ රස නැමැති ඡායාරූප. ශරීරය නැමැති කාචයෙන් ගන්නේ ස්පර්ශ නැමැති ඡායාරූප, මනස නැමැති කාචයෙන් ගන්නේ ධම්ම නැමැති ඡායාරූප, මේ කැමරාවේ මනස නැමැති කාචයට අනෙක් දොරවල් පහම සම්බන්ධයි. ඇස්, කන, නාසය, දිවන, ශරීරය කියන කාච පහෙන් ම ආවත් මනස නැමැති ඇතුල් කාචයෙන් තවත් ඇතුළට යන්න ඕනි. ඡායාරූප ගත වෙන්න මේ ඇතුලේ මනස නැමැති කාචය බාහිර කාචවල තනිවමත් ඡායාරූප ගන්න පුළුවන්. ඒත් ඇස, කන, නාසය, දිව, ශරීරය කියන කාචවලට ඇතුළෙ තියෙන මනස නැමැති කාචය නැතිව කිසිම ඡායාරූපයක් ගන්න බැහැ.

එනිසා සියලු ම ඡායාරූපවල ප්‍රධාන කාචය “මනස” නැමැති කාචයයි. ඉන්ද්‍රියන්ගේ ආධාරයෙන් හෝ ඉන්ද්‍රියයන්ගේ ආධාරයක් නැතිව ඇතුළත කාචයකින් හෝ ඇතුල් වූ ඡායාරූප ගබඩාවක එකතු වෙනවා. මේවා ලක්ෂ ගණනක් මතකයේ රැඳිලා තියෙනවා. ඒවා වෙන වෙනම ගබඩා හයක තියෙන්නෙ. එකක් රූප ගබඩාව, අනික ශබ්ද ගබඩාව, මේ විදියට ගන්ධ ගබඩාව, රස ගබඩාව, ස්පර්ශ ගබඩාව හා ධම්ම ගබඩාව කියල තියෙනවා. මේ ගබඩා තැන්පත් කරපු ඡායාරූප නැවත අවශ්‍ය වෙලාවක මහත් කරල තෝරල ගන්න පුළුවන්.

සමහර ඒවා ඉක්මනට ගන්න පුළුවන්. ඒවා තමා ඉතාම ආශාවෙන් ගත්ත ඡායාරූප සමහර ඒවා ටිකක් අමතකයි. ඒත් ඒවා මතක් කරල සොයා ගන්න පුළුවන්. මේ ඔක්කොම ඡායාරූප ගබඩා හොඳට මනසේ ආරක්ෂා වෙලා තියෙනවා. කල්ගියාම ඒවා නරක් වෙන්නෙත් නැහැ. මිනිහා මැරුණත් රූප උපාදානස්කන්ධය ඉතිරි වෙනවා. ඒවා මිනිහාගේ හිතත් සමග පවතිනවා. නැවත ඒ මිනිහාටම ආපසු ලැබෙනවා. “කම්ම නියාම” ට අනුව ඒවා පිළිවෙළටයි ආපහු ලැබෙන්නේ.

අපි මේ එකතු කරන ඒවා කාමර හතක ගොඩ ගැහෙන්නේ. ඒක කාමරයක තියෙන ඒවා මේ ජීවිතයේ දීම විපාක හම්බ වෙනවා. ඒවාට කියන්නේ “දිට්ඨ ධම්ම වේදනීය” කියල තවත් කාමරයක් තියෙනවා.

ඒකෙ තියෙන ඒවා දෙවෙනි භවයේ දී විපාක ලැබෙනවා. ඒවාට “උපපජ්ජ වේදනීය කම්ම” කියල කියන්නේ, අනෙක් කාමර පහේ තියෙන ගොඩවල් ඕනෑම වෙලාවක විපාක දෙන්න පුළුවන්. “අපරාපරිය වජ්ජකම්ම “ කියන්නේ ඒවාට යම්කිසි විදියකින් “දිට්ඨ ධම්ම වේදනීය” කම්ම කියන මේ ජීවිතයේ දී විපාක දෙන්න තියෙන කම්ම මේ ජීවිතයේදී විපාක නොදුන්නොත් ඒවා අහෝසිකම්ම වෙනවා. ඒ වගේම දෙවෙනි භවයේ දී විපාක දෙන්න ඕන උපපජ්ජ වේදනීය කම්ම දෙවන ජීවිතයේ දී විපාක නොදුන්නොත් ඒවත් දෙවෙනි භවයෙන් පස්සේ විනාශ වෙනවා. නමුත් අපරාපරිය වජ්ජකම්ම විනාශ වෙන්නේ නැහැ. කොහේදි හරි විපාක දෙන්න බලාගෙන ඉන්නවා.

රහත් වුනොත් නම් සියලුම කර්ම නැති කළ නිසා රහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ “අහෝසි කම්ම” වෙනවා. නමුත් පාථග්ජන අය පසු පස කුසල හා අකුසල කර්ම ගමන් කරනවා. ඒ ඒ අයටම ඒ කර්මවල විපාක විඳින්න සිද්ධ වෙනවා. කර්ම විපාක දීමේ දී තවත් ලක්ෂණයක් තියෙනවා. එනම් ඒ ඒ කර්මවල ස්වාභාවය අනුව විපාකයත් වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ ඒ කර්ම කරන කොට රූප අල්ලා ගෙන තියෙන්නේ ඉතාම ශක්තිමත් කාචයක් (ලෙන්ස්) තියෙන කැමරාවකින්. ඉතාම සියුම් කාචය නිසා ඡායාරූපය ඉතා තදට වැදිලා තියෙනවා.

දැඩිව අල්ලා ගෙන තියෙන ඒ ඡායාරූප දෙවෙන භවයේදීම විපාක ලැබෙනවා. ඒවාට කියන්නෙ “ගරුක කම්ම” කියල. පංචානන්තර්ය කර්ම වන මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේලා මැරීම, බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් ලේ සෙලවීම, සංඝ භේදය යන පහ ඉක්මණින් විපාක ලැබෙන ගරුක අකුසල කර්මයි. නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි බුදුරජාණන් වහන්සේට දානය පූජා කිරීම ගරුක කුසල කර්මයක්.

සමහර කර්ම තියෙනව නිතරම කෙරෙන ඒවා. මේවා හොඳ නරක දෙකම වෙන්න පුළුවන්. ඒවාට කියන්නෙ “ආචිණ්ණ කම්ම” කියල. නිතරම ගන්නා ඡායාරූප වගේ ඒවාත් ගොඩගැහිල තියෙනව. ඒ ඡායාරූප ප්‍රමාණය ද වැඩියි. ඒ නිසා ගරුක කර්ම ළඟට බලවත් වන්නේ “ආචිණ්ණ කම්ම” යයි.

මරණය දක්වාම කර්ම රැස් කරන අය අවසානයේ මරණ මොහොතෙ කර්මයට කියන්නේ “ආසන්න කම්ම” කියල ඒක අන්තිමට ගන්න ඡායාරූපය වගෙයි.

වරින් වර ගන්නා විශේෂ ඡායාරූප වගේ, කරන කුසල අකුසල කර්මත් තියෙනවා. ඒවාට කියන්නෙ. “කටත්තා කම්ම” කියල ඒවත් ඒ ඒ අවස්ථාවල දී විපාක දෙනවා.

මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද හිමි

Tuesday, February 11, 2014

ඒ උතුම් අසිරිමත් මිනිසා

සකුළුදායි අපේ බුදුහාමුදුරුවන් රජගහ නුවර වැඩ සිටින කාලයේ රජගහ නුවර මහත් පිරිසක් පිරිවර කරගෙන සමාජයේ බැබළෙමින් සිටි සුප්‍රසිද්ධ ප්‍රබල පරිබ්‍රාජකයෙකි. දිනක් අපේ බුදුහාමුදුරුවන් උදෑසනම රජගහ නුවරට පිණ්ඩපාතයේ වඩිද්දී අතරමගදී පිණ්ඩපාතයට තවම වේලාසන වැඩි නිසා සකුළුදායිගේ ආරාමයට වැඩම කළා.
එහි වඩිද්දී සකුළුදායිගේ ගෝල පිරිස මහත් කෝලාහලයක් කරගන්නාක් මෙන් කෑකෝගසමින් ගුණදහම් සුරකින අයට නුසුදුසු වූ දෙතිස් කතාවලින් යුතුව තමයි හිටියේ. බුදුරජාණන් වහන්සේ වඩිනවා දැකලා සකුළුදායි ඒ අයගේ ඒ ගාලගෝට්ටිය නතර කරන්න “නිශ්ශබ්ද වෙන්න, නිශ්ශබ්ද වෙන්න” කියලා කෑගහලා කීවා. තවදුරටත් කීවා “නිශ්ශබ්දව හිටියොත් සමහර විට සමණ ගෞතමයොත් අප ළඟට ඒවි” කියාලා.
ඉතින් සකුළුදායි අපේ බුදුහාමුදුරුවන් දැකලා “වඩින්න වඩින්න” කියලා ආසනයක් පනවා දුන්නා. ඒ ආසනයේ වැඩ සිටි අපේ බුදුහාමුදුරුවන් සකුළුදායිගෙන් ඇසුවා “මොකක් ගැන ද ඔය පිරිස දැන් කථා කර කර උන්නේ? සමහර විට ඒ කථාවටත් බාධාවක් වෙන්න ඇති නේද?” කියලා. ඉතින් “ඒ කතාව ඒ තරම් වැදගත් එකක් නෙවෙයි, ඒව ඉතින් පස්සෙත් අහන්න පුළුවනි” කියලා, සකුළුදායි කියනවා මෙහෙම: “මේ ළඟදී දවසක් සංවාද ශාලාවට එකතු වෙච්ච විවිධ ආගමික ශ්‍රමණ හා බ්‍රාහ්මණ කණ්ඩායම් අතර විශේෂ කතාවක් ඇතිවුණා මේ අංග-මගධ ජනපදවල ඉන්න අයට විශාල ලාභයක් තියෙනවා කියලා.
ඒ මොකක්ද? මේ අංග-මගධ ජනපදවල විශාල සඟ පිරිස් පිරිවර කරගත්ත ශ්‍රේෂ්ඨ ශාස්තෘවරු කීපදෙනෙක්ම දැන් වැඩ ඉන්නවා. ඒ කියන්නේ පූරණ කස්සප, මක්ඛලී ගෝසාල, පකුධ කච්චායන, අජිත කේසකම්බල, සංජය බෙලට්ඨීපුත්ත, නිගණ්ඨනාථ පුත්ත සහ ශ්‍රමණ භවත් ගෞතම යන මේ අයයි. ඊ ළඟට ඒ අය කතා කළා ඒ ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ගෝල පිරිස් ඒ අයට සලකන හැටි, ගරු කරන හැටි. ඉතින් ඒ අය අතුරින් ඒ හැම දෙනාගේම ප්‍රශංසාව හිමි වුණේ ශ්‍රමණ ගෞතමයන්ගේ ගෝලයන් ශ්‍රමණ ගෞතමයන්ට සලකන, ගරු කරන ආකාරය ගැනයි.”
මේ අවස්ථාවේ අපේ බුදුහාමුදුරුවන් සකුළුදායිගෙන් ඇහුවා “සකුළුදායි ඔබ හිතන හැටියට ඒ ආකාරයෙන් සැලකීමට හේතුව මොකක්ද?” කියලා. සකුළුදායි කියනවා “ඒ කරුණු පහක් නිසයි” කියලා. සකුළුදායි කියන හැටියට අපේ බුදු රජාණන් වහන්සේට උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස සලකන්නේ ගරු කරන්නේ මේ කරුණු පහ නිසා යි:
1. බුදු රජාණන් වහන්සේ ඉතාම ටිකක් වළඳන නිසා
2. බුදු රජාණන් වහන්සේ සරල සිවුරු පරිහරණය කරන නිසා සහ එය අගය කරන නිසා
3. බුදු රජාණන් වහන්සේ සරල ආහාරයකින් හෝ සතුටු වන නිසා සහ එය අගය කරන නිසා
4. බුදු රජාණන් වහන්සේ වනසෙනසුන්වල වාසය කරන නිසා සහ එය අගය කරන නිසා
5. බුදු රජාණන් වහන්සේ හුදෙකලාව සුව සේ වාසය කරමින් එය අගය කරන නිසා
ඉතින් අපේ බුදුහාමුදුරුවන් කරුණු සහිතව සකුළුදායිට පෙන්වා දුන්නා මේ එකම කාරණයක් නිසාවත් නොවෙයි තමන්වහන්සේගේ ශ්‍රාවක පිරිස තමන් වහන්සේට සලකන්නේ කියලා. එහිදී අපේ බුදුහාමුදුරුවෝත් කරුණු පහක් දේශනා කළා මොන මොන හේතූන් නිසාද තමන්වහන්සේගේ ශ්‍රාවක පිරිස තමන්වහන්සේට සලකන්නේ කියලා. අපේ බුදුහාමුදුරුවන් ඔහුට දේශනා කළ පරිදි උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස උන් වහන්සේට සලකන්නේ ගරු කරන්නේ මෙන්න මේ කරුණු පහ නිසා යි:
1. බුදු රජාණන් වහන්සේගේ අධිශීලය නිසා
2. බුදු රජාණන් වහන්සේගේ ඥාන දර්ශනය නිසා
3. බුදු රජාණන් වහන්සේගේ අධිප්‍රඥාව නිසා
4. බුදු රජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කර මැනවින් පහදා දෙන නිසා
5. බුදු රජාණන් වහන්සේ කුශල ධර්මයන් වඩන ආකාරය කියාදෙන නිසා
මේ කුශල ධර්ම ප්‍රගුණ කරන ආකාරය ද අපට අපේ බුදුහාමුදුරුවන් කියා දුන්නා. එසේ අපට කියා දුන්නේ:
1. සතර සතිපට්ඨාන ධර්මයන් ප්‍රගුණ කරන ආකාරය
2. සතර සම්‍යක් ප්‍රධාන වීර්යයන් ප්‍රගුණ කරන ආකාරය
3. සතර ඉද්ධිපාදයන් ප්‍රගුණ කරන ආකාරය
4. පඤ්ච ඉන්ද්‍රිය ධර්මයන් ප්‍රගුණ කරන ආකාරය
5. පඤ්ච බල ධර්මයන් ප්‍රගුණ කරන ආකාරය
6. සත්ත බොජ්ඣංග ධර්මයන් ප්‍රගුණ කරන ආකාරය
7. ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කරන ආකාරය
8. අෂ්ට විමෝක්‍ෂ ධර්මයන් ප්‍රගුණ කරන ආකාරය
9. අෂ්ට අභිභායතන ප්‍රගුණ කරන ආකාරය
10. දස කසින ප්‍රගුණ කරන ආකාරය
11. සතර ධ්‍යානවලට පත් වන ආකාරය
12. විදර්ශනා ඥානය උපදවාගන්නා ආකාරය
13. මනෝමය කයක් උපදවාගන්නා ආකාරය
14. ඉද්ධිප්‍රාතිහාර්ය පාන ආකාරය
15. දිබ්බ සෝතය හෙවත් දිව කන ඇති කරගන්නා ආකාරය
16. අන් අයගේ සිත් දැනගන්නා ආකාරය
17. පෙර භවයන් පිළිබඳව දැනගන්නා නුවණ ඇති කරගන්නා ආකාරය
18. දිවැස් හෙවත් සත්ත්වයන් මෙලොවින් චුත වන ආකාරය හා වෙනත් ලෝකවල ඉපදෙන ආකාරය දැකීමේ ඥානය උපදවාගන්නා ආකාරය
19. සියලු ආශ්‍රව ධර්මයන් නැති කරදමා නිවන් සුව පසක් කරගන්නා ආශ්‍රවක්‍ඛය ඥානය උපදවාගන්නා ආකාරය යන මේවා ය.
මෙසේ බුදුපියාණන් සකුළුදායි හට මෙම කරුණු දේශනා කර අවසන් වෙද්දී සකුළුදායි ඉමහත් සතුටට සන්තෝෂයට පත් වුණා.
DAhamhansabawa

භවය යනු කඳුළු සාගරයකැයි නුවණින් දකින දා…


Dahamsabawa
සමාධිය ගැන කථා කිරීමේදී කොතැනකින් හෝ මතුවී එන්නේ ශීලයේම ශක්‌තියයි. ශීලයේ දුර්වලභාවය නිසාමයි සතර අපාය නිර්මාණය වී තිබෙන්නේ. ඒ හේතුව නිසාම පිංවත් ඔබ භාවනාවට පෙර ශීලය ගැනත්, සතර අපාය ගැනත් පූර්වකෘත්‍යයක්‌ ලෙස මතක්‌ කරන්න.
මේ ලෝකයේ යම් මනුෂ්‍යයෙක්‌, දෙවියෙක්‌, බ්‍රහ්මයෙක්‌ චතුරාර්ය සත්‍ය, අරහත් ඥානය අවබෝධ කරගැනීමට මොහොතකට පෙරාතුව ඉහළ සමාධි තලයකදී තම අනුදැනුමකින් තොරවම පූර්වේ නිවාසානුස්‌සති ඥානය ඇතිවෙනවා. ඒ කියන්නේ පෙර ආත්මභාවය දැකීමේ ඥානයයි. තමා ඉපදී සිටි පෙර ආත්මභාවයන් දැකීමේ ඥානය. තමා ඉපදී සිටි පෙර ආත්මභාවයන් සිහිවීමේ ඥානය. එම ඥානය තුළින් අරමුණු වෙනවා. අතීත භවයන්හිදී තමා තිරිසන් සතුන් වශයෙන් ඉපදී හරකුන්, ඌරන්, එළුවන්, කුකුලන් වශයෙන් ඉපදී මිනිසුන් තමාව මරාගෙන කන හැටි, හිස ගසා දමන හැටි, මනුෂ්‍ය ජීවිතවල ඉපදිලා රාජ දඬුවම් නිසා අත පය හිස කපා දමා ලා අනතුරුවලට ලක්‌වෙලා ශරීරය කුඩුවෙලා, යුද්ධ වලට මැදිවෙලා කපා කොටාගෙන මියගිය හැටි….
භවය කියන්නේ ලේ සාගරයක්‌ය, කඳුළු සාගරයක්‌ය කියන කාරණය මේ ඥාන දර්ශනය තුළින් දකිනවා. මෙන්න මේ අතීත බිහිසුණු කථාව පූර්වේ නිවාසානුස්‌සති ඥානය තුළින් අරමුණුවෙද්දී තමයි ඔහු තුළ සප්ත බෝඡ්ජග ධර්ම සකස්‌ වෙන්නේ. සංසාරය පුරාවට අත්විඳි අතිබිහිසුණු ඛේදවාචකය අරමුණු වෙනකොට ඔහු තුළ සංසාර ගමනේ මෙතෙක්‌ තමා තුළ ඇති නොවුණ සති, ධර්මවිජය, වීර්ය, ප්‍රීති, පස්‌සද්ධි, සමාධි, උපේක්‍ෂා ධර්මයන් ඇතිවෙනවා. අතීත භවයන් හිදී අත්විඳි අති බිහිසුණු දුක අරමුණු වෙනකොට තමයි භව නිරෝධය සාක්‍ෂාත් කිරීමට අවශ්‍ය වීර්යය සකස්‌කොට දෙන්නේ. නමුත් මේ මොහොතේ තමා තුළ වැඩෙන්නේ පූර්වේ නිවාසානුස්‌සති ඥානය කියලා ඔහුට දැනීමක්‌ නැහැ. එම ඥානය ලැබෙයි කියලා බලාපොරොත්තු වුණෙත් නැහැ. පූර්වේ නිවාසානුස්‌සති ඥානය ගැන ඔහුට පෙර දැනීමක්‌ තිබුණෙත් නැහැ. එකම අරමුණයි ඒ මොහොතේ තිබෙන්නේ. ඒ භව නිරෝධය පමණමයි. ‘ඇලීමකින් ගැටීමකින් තොරව අවසාන හුස්‌ම පිටවේවා ¾ ‘ කියන කාරණය. ඔහු තුළ ඇලීම් ගැටීම්වලින් තොර උපේක්‍ෂාව කියන මට්‌ටමට සිත සමාධිමත්වයි පවතින්නේ. සතිය සිහිය, අරමුණ කෙරෙහි හොඳින් විවෘතව පවතිනවා.
මේ මොහොත වෙන කොට ඔබ පැහැදිලි තීරණයකට ඇවිත් සිටින්නේ. එක්‌කෝ භව නිරෝධය, නැතිනම් මරණය කියන කාරණයයි. මේ තීරණයේදීම ඔහුට සියයට අනූවකින් භවය අතහැරිලා. නමුත් කුමක්‌දෝ තැනකින් තවමත් බැඳීමක්‌ පවතිනවා කියලා ඔහුට දැනෙනවා. කුමක්‌දෝ කුඩා රැහැනකින් ඔහුගේ ජීවිතය ලෝකයට බැඳී තිබෙනවාය කියලා. මේ මොහොතේදී ඔහුට ශක්‌තිමත් විශ්වාසයක්‌ සකස්‌ වෙනවා. මේ ව්‍යායාමයේදී දානය නැතිවීම හෝ වෙනත් භාහිර අනතුරකින් ජීවිතය නැතිවුණොත් මරණයට තත්ත්පරයකට හෝ පෙරාතුව නියත වශයෙන්ම භව නිරෝධය සාක්‍ෂාත් කරගන්නා බවට. මේ විශ්වාසය ගොඩනගන්නේ ඔහු තුළ සකස්‌වෙන සති ධම්මවිජය බොඡ්ජංගයයි. මෙතැනදී තමයි අයෝමය වීර්යය සකස්‌කොට දෙන්නේ. මේ වීර්යය තුළින් සිද්ධ කරන්නේ භවයට බැඳී ඇති තෘෂ්ණාව සිඳ දැමීමට ඔහුව මෙහෙයවීමයි. ඔහු මනුෂ්‍ය ලෝකය තුළ දිව්‍ය තල, බ්‍රහ්ම තලවල ස්‌ථිර වූ නිත්‍ය සැපයක්‌ නොමැති බව ඉතාමත් සියුම්ව නැවත, නැවත මෙනෙහිකොට බලනවා. මනුෂ්‍ය ලෝකයේ කෝටි ප්‍රකෝටිපතියන් රජවරු සිටුවරු ජනනායක වරු කලාකරුවන් දෙස්‌ විදෙස්‌ වශයෙන් ඥාති නොඥාති වශයෙන් ජරා ව්‍යාධි මරණයන්ට පත් වී අසරණව මියයන හැටි විදර්ශනා නුවණින් විනිවිද දකිමින් ඉතා සියුම් ආකාරයට මෙනෙහි කරනවා. අතීත භවයන්හිදී තමාද මේ සැප අත්විඳ දුකට වැටුණ අන්දම සිහිකරනවා. මෙහෙම දකිමින් මනුෂ්‍ය ලෝකය තුළ ඉඳිකටුතුඩක තරම්වත් උපාදානයක්‌ සකස්‌ නොවන තැනට සතිය සිහිය යොමුකොට බලනවා. මොකද මනුෂ්‍ය ලෝකය කෙරෙහි ඉඳිකටු තුඩක තරම්වත් තෘෂ්ණාවක්‌ සකස්‌ වුනොත් ඊට අදාළ උපාදානය සකස්‌වෙන නිසා. තමා තුළින්ම මනුෂ්‍ය ලෝකය කෙරෙහි ඉඳිකටු තුඩක තරම්වත් උපාදානයක්‌ නැතැයි කයලා අවබෝධයෙන් ප්‍රත්‍යක්‍ෂව දකිනවා.
දෙවැනිව ඔහු දිව්‍ය තලවල සශ්‍රික බව අත්විඳින දෙවියන්, දිව්‍යාංගනාවන් ගැන මෙනෙහි කරනවා. දිව්‍ය සැපයේ අනිත්‍ය බව, සශ්‍රික දෙවියන් දිව්‍යාංගනාවන් කල්ප ගණන් දිව්‍යතලවල ජීවත් වුවද එම පින අහවර වෙනකොට ඔවුන් අත්විඳින දුක වේදනාව, දිව්‍යලෝකවලින් පිං අහවර වී චුතවන දෙවිවරුන් නගන අඳෝනා විලාපයන් නුවණින් සිහිකරනවා. දිව්‍ය සළු කිළිටි වෙලා පැහැපත් ප්‍රභාශ්වර දඹරන් පැහැ දිව්‍ය ශරීර දහඩියෙන් තෙත් වෙලා, අවපැහැගැන්විලා නේකවර්ණ සළුපිළි, නේකවර්ණ මානික්‍යයන් ඔබ්බවපු ඔටුණු දුර්වර්ණව යන හැටි, කාමච්ජන්දයන්ගෙන් ප්‍රමාදභාවයට පත්ව සිටි දෙවියන් දිව්‍යතලවලින් චුත වන මොහොතේ ගැටෙන සිතෙන් නැවත සතර අපායන්ට වැටෙන හැටි නුවනින් මෙනෙහි කරනවා. මෙසේ මෙනෙහි කරමින් දිව්‍යතල කෙරෙහි ඇති උපාදානය නැතිකොට ගන්නවා. අවසානයේදී දිව්‍යතලවල සශ්‍රික දෙවියන්, ශක්‍ර දෙවියන්, සුජම්පතී බිසව අරමුණට ගන්නවා. ඔවුන් විඳින්නා වූ අප්‍රමාණ සශ්‍රිකභාවය නුවනින් දකිමින් ඒවාද අනිත්‍යභාවයට පත්වී එම ශක්‍රදෙවියන්ද, එම පිරිසද නැවත සතර අපායට වැටෙන අයුරු මෙනෙහි කරනවා. නැවත නැවත ඉතා සියුම්ව බලනවා ඉඳිකටු තුඩක තරම්වත් ඉඩක්‌ කෙරෙහි තෘෂ්ණාවක්‌ තමා තුළ දිව්‍ය තල කෙරෙහි බැඳීමක්‌ සකස්‌වෙනවාද කියලා. මොකද දිව්‍ය සැපයේ අග්‍රම සැපය වන ශක්‍රයා කියන සැපය කෙරෙහි අල්පෙනෙති තුඩක තරම්වත් තෘෂ්ණාවක්‌ තිබුණොත් ඒ කෙරෙහි උපාදානය සකස්‌වීමට පුළුවන් නිසා.
මේ දේවල් ඔහුට පෙළඹවීමකින් තොරව තමා තුළ වැඩෙන සතිය සිහිය විසිනුයි සිදුකරන්නේ . වීර්යය සතියට උපකාර කරනවා. මේ සිද්ධිය මෙනෙහි කරනකොට ධර්මවිජය බෝඡ්ජíගයමයි. වැඩෙන්නේ. පස්‌සධිය, සමාධිය සියල්ල විනිවිද දැකීමට උපකාරී වෙනවා. ඊට භාහිර දෙයක්‌ ඔහුට මේ මොහොතේ නැහැ. මොකද නිවීම කියන අරමුණ කෙරෙහි සතිය බලවත්.
ඔහු මනුෂ්‍ය ලෝකය දිව්‍යතල කෙරෙහි අල්පෙනෙති තුඩක තරම්වත් උපාදානයක්‌ තමා තුළ නොමැති බව අවබෝධකරගත් පසු මනුෂ්‍ය දිව්‍යතල කෙරෙහි තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම ඔහුගෙන් ක්‍ෂය වෙලා සප්ත බොඡ්ජංග ධර්ම හරහා වැඩෙන ප්‍රඥාව විසින් තමාට ඒ බව තහවුරුකොට දෙනවා. මේවා සියල්ල හේතුඵල ධර්මතාවයන්.
ඊළඟට ඔහු බ්‍රහ්ම තල පීර පීරා බලනවා. රූපී අරූපී මාර්ගඵලලාභී බ්‍රහ්මයින් වැඩ සිටින මේ කොයියම් බ්‍රහ්ම ලෝකයක හෝ ස්‌ථිර, නිත්‍ය වූ සැපයක්‌ තිබෙනවාද කියලා. එකලාව එරමිනියා ගොතාගෙන සමාධිය වඩන මාර්ගඵල ලාභී බ්‍රහ්මයින් ගැන මෙනෙහි කරනවා. ඉතා සියුම් මීදුමක්‌ සේ ශරීරයක්‌ සහිතව එරමිනියා ගොතාගෙන සමාධිය වඩන අරුපී බ්‍රහ්මයින් මෙනෙහි කරනවා. අරූපී බ්‍රහ්මයන්ගේ කය, ඝනභාවයෙන් තොර සියුම් මීදුමකින් වගෙයි හැදිලා තිබෙන්නේ. රූපයක්‌ නැහැ කීවාට රූපය තිබෙනවා සැඟවිලා. සමාධි සැපය කෙරෙහි ඇති තෘෂ්ණාව නිසා සමාධිය නිත්‍ය, ස්‌ථිරභාවයෙන් දකින බ්‍රහ්මයින්ගේ අවිµd සහගත සිත ඔහු නුවණින් මෙනෙහි කරනවා. බ්‍රහ්මයා මේ සා සමාධියෙන් පරිපූර්ණ වුවත්, තෘෂ්ණාව සත්වයාට අත්කරදෙන ප්‍රමාදීභාවය දකිමින් ආර්ය ආෂ්ඨාංගික මාර්ගයෙන් බැහැර වූ සත්ත්වයාගේ ප්‍රමාදය දකිමින් බ්‍රහ්මතල කෙරෙහි ඇති කැමැත්තෙන් මිදෙනවා. සතර අපායෙන් නොමිදුණු රූපී, අරූපී බ්‍රහ්ම තලවල බ්‍රහ්මයින් බ්‍රහ්ම සැප අනිත්‍ය වී නැවැත සතර අපායට වැටෙන අයුරු ඔහු නුවණින් දකිනවා.
අවසානයේ ඔහු බ්‍රහ්මයා කියන සැපය කෙරෙහි අරමුණු කරනවා. මහා බ්‍රහ්මයා මේ ලෝක ධාතුවේ ලොකුම සැපය ලෙසින් හැඳින්වුවත් ඔහුද අවිද්‍යාව තුළ ජීවත්වන්නෙක්‌ බව මෙනෙහි කරනවා. අවිද්‍යාව යම් තැනකද එතැන දුක බව දකිනවා. මහා බ්‍රහ්මයාද සතර අපායෙන් මිදී නොමැතිනම් බ්‍රහ්ම සැප අවසන්වීමෙන් පසු සතර අපායට වැටීමේ අවදානමෙන් ඔහු මිදී නැති බව නුවණින් දකිනවා. මෙසේ දකිමින් මහා බ්‍රහ්මයා කියන සැපය කෙරෙහි ඇති තෘෂ්ණාවෙන්ද මිදෙනවා. නමුත් නැවත නැවත සියුම්ව අවධානය යොමු කරනවා අල්පෙනෙති තුඩක තරම්වත් තෘෂ්ණාවක්‌ බ්‍රහ්ම තල කෙරෙහි තිබෙනවාද කියලා. ස්‌ථිර වශයෙන් නිත්‍ය වශයෙන් බ්‍රහ්ම තලවල සැපයක්‌ නොමැති බව අවබෝධයෙන් දකිමින් බ්‍රහ්මතල කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් මිදෙද්දී භික්‍ෂුවගේ සිත පිහිටන්න වෙන තැනක්‌ මේ ලෝක ධාතුව තුළ නැහැ. මොකද මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්මතල කෙරෙහි ඇති ජන්දරාගය අවබෝධයෙන්ම සිඳුන නිසා. ඒ සිත පිහිටන්නේ ලෝකයෙන් මිදුන නිවීම තුළයි. භව නිරෝධය තුළයි. භික්‍ෂුවගේ ඉහත නිවීමේ මෙහෙයුම සිදුවන මුළු රාත්‍රිය පුරාවට එම භික්‍ෂුව පුද්ගලික අරමුණුවලින් මිදිලයි ඉන්නේ. කොටින්ම භික්‍ෂුවට තමා ගැන දැනීමක්‌ නැහැ. අනිත්‍ය කියන ධර්මය හැර වෙන ධර්මතාවයක්‌ මෙනෙහි වෙන්නේ නැහැ. භව නිරෝධය නැතහොත් මරණය කියන කාරණා දෙක අතරයි භික්‍ෂුවගේ සිත දෝලනය වෙන්නේ. මේ ඉහත අර්ථය තමයි, චිත්තය තමයි අරමුණ සාක්‍ෂාත්කොට දෙන්නේ.
ජීවිතය අතහැරලා භව නිරෝධය කියන අරමුණ පසුපස සප්ත බෝඡ්ජíග ධර්මයන් වැඩෙද්දී මාරයා බියට පත්වෙනවා. මොකද භික්‍ෂුව භව නිරෝධය නැතිනම් මරණය කියන කාරණය ස්‌ථිර අධිෂ්ඨානයක්‌ හැටියටයි සපථ කරගෙන සිටින්නේ. මන්ද තමා තුළින්ම සකස්‌වෙන පංචඋපාදානස්‌කන්ධය සමගයි තමා ගනුදෙනු කරන්නේ. ජූරිය, විනිශ්චය තමා තුළමයි තිබෙන්නේ. එම නිසා වංකවෙලා මෙතැනදී මාරධර්මයන් පරාජය කරන්න බැහැ. තමා දන්නවා තමා කරන්නේ බොරුවක්‌ බව. මෙතැන තමයි වර්තමානයේ බොහො දෙනෙක්‌ වරද්දගන්නා තැන. එම නිසා අවංකභාවය ඇත්තවශයෙන්ම තිබිය යුතුයි. මෙය සටහන් කරන භික්‍ෂුවටත් පිංවත් ඔබටත් භව නිරෝධය සාක්‍ෂාත් කර ගැනීමට නම් නිවීමේ මෙහෙයුමේ අවසාන අදියරේදී ‘භව නිරෝධය, නැතිනම් මරණය’ කියන අධිෂ්ඨානයට ස්‌ථිරවම එන්න වෙනවා.
භික්‍ෂුව මේ මොහොත් නොදන්නවාට භික්‍ෂුව තුළින් ඉහත වැඩුණේ නිවීම උදෙසා අත්‍යවශ්‍ය සත්තිස්‌බෝධිපාර්ශ්වික ධර්මයන්ය. නිවීම උදෙසා අරමුණ ශක්‌තිමත් නම්, අවංකභාවය තිබේනම් රූපයේ අනිත්‍යභාවය ඉහළ සමාධිතලයකදී ඔබ අවබෝධ කර ඇතිනම් මෙම ධර්මතාවයන් හේතුවෙන් ආයාසයකින් තොරවම හේතුඵල ධර්මතාවයන්ට අනුව සත්තිස්‌බෝධිපාර්ශ්වික ධර්මයන් ඔබ තුළ වැඩෙමින් ඔබව මේ ඝෝර කටුක භයානක සංසාරයෙන් එතෙර කරවනු ඇත.
Dahamsabawa.wordpress.com
අශ්ඨ දුෂ්ටක්ෂණ ...

(අෂ්ට + දුෂ්ට + අක්ෂණ ) අක්ෂණ යනු යම් ආකාරයක උසස් කුසලයක් කරගැනීමට ඉඩ අවකාශ නොලැබීමයි. ඊට හේතුවන කරුණු අට අෂ්ට දුෂ්ටක්ෂණ වශයෙන් හදුන්වයි. සසර ගමනේ සත්වයන්ට බොහෝ විට මුණගැසෙන්නේ දුෂ්ටක්ෂණ කාලයන්ය. එබැවින් මෙම ලැබූ ක්ෂණ සම්පත්තියෙන් උපරිම ඵල නෙලාගැනීමට වීර්යය වඩවා මනුශ්ය ආත්ම භාවය අර්ථවත් කරගනිත්වා ...

01 . නරකයට වැටී සිටින කාලය - 
නරකය නම් සතර අපායන්හි දුක් බහුල අපාය භූමියයි. එහි ප්රභේද බොහෝ ඇත්තේය . කෙසේවත් එහි උපන්නවුන් හා පින් කිරීමට පසුබිමක් හෝ නුවණක් නැත්තේය . නිරන්තරයෙන් දඬුවමට ලක්වෙමින් පාපයට අනුව මැරි මැරී එහිම උපදිති. එබැවින් පාපය විඳවා ගෙවා දැමීම හැර වෙනත් පින්කම් කිරීම, එම භවය සැපවත් කර ගැනීම එහි උපන්නවුන්ට කළ නොහැක.

02 . තිරිසන් අපායෙහි උපන් කාලය -
තිරිසන්ව උපදින සත්වයන්ට විශේෂ අපාය භූමියක් නැත්තේය . උපන් අකුශල කර්මය අනුව ඒ ඒ තිරිසන් ආත්ම වල ඉපිද ඊට ගැලපෙන ස්ථානයක ජීවත් වෙති . බොහෝ සාපිපාසාවන්ද අව් - වැසි සුළගින්ද පීඩාවට පත්වෙති . බොහෝ සත්වයන් නැවත නැවත අකුශල කර්ම වල යෙදීමෙන් අපායන්හිම උපදින්නේය . එබැවින් තිරිසන්ව උපන් කල පින් දහම් කිරීමට නොහැකි වන්නේය .

03 . ප්රේත ලෝකයෙහි උපන් කාලය -
ප්රේතයෝ ඕපපාතිකව පහළවන අපායික සත්ව කොටසකි . තිරිසන් සතුන් විඳිනා දුකට වඩා මහත් දුකට පත්ව සිටින කොට්ටාශයකි . කුඩා වූද , මහත් වූ ද , විවිධ ආකාර ශරීර ඇති ප්රේතයෝ සිටිති . උපන් පාපයන්ට අනුව නොයෙක් පිළිකුල් ආහාරයන්ගෙන් ජීවත් වෙති ( කෙල , සෙම් , සොටු , සැරව , මිනිස් අපද්රවය ආදිය ඇතුළුව ) . මෙවැනි භවයක කිසිම කුශල කර්මයක් සිදුකරගත නොහැකි වන්නේය .

04 . අසඥ භාවය හා සතර අරූප බඹ ලෝකයන්හි උපන් කාලය -
කෙනෙකු සිතේ ස්භාවයට කළකිරීම හේතුවෙන් පඤ්චම ධයානය සංඥා විරහිතව වඩවා එම ධයාන බලයෙන් අසඥ බඹ ලොවද , එසේම තව අයෙකු කයේ ස්භාවයට කළකිරීමෙන් අරූප ධයාන වඩවා අරූප බඹලෝ තලයන්හිද උපදිති . අසඥ භවයේ සිත ක්රියා විරහිතව පවතින බැවින් සංඥා ආදී කිසිවක් පහළ නොවන බැවින් හා අරූප බඹලොව පඤ්ච ඉන්ද්රීයන් නොමැති බැවින් එම ලෝකයන්හි කුශල කර්ම සිදුකළ නොහැකි වන්නේය .

05 . බුදුවරයන් බුද්ධ ශ්රාවකයන් නොපැමිනෙන ප්රදේශයන්හි උපන් කාලය -
ලෝකයේ සත්ය අවබෝධ කිරීමට මඟපෙන්වීමක් නොමැතිව කටයුතු කිරීමට සමතෙක් නැත්තේය . ඒ සඳහා සම්මා සම්බුදුවරයෙකු හෝ බුද්ධ ශ්රාවක කල්යාන මිතුරු ඇසුරක් ලැබිය යුතුය . එවැනි උතුමන් නැති ප්රදේශයන්හි උපන් අයෙකුට එවැනි උසස් කුශල කර්ම සිදුකරගත නොහැක්කේය .

06 . අංගවිකලව උපන් කාලය ( ෂඩ් ඉන්ද්රීයන්ගෙන් එකක් හෝ දුබලව ඉපදීම ) –
කායිකව හෝ මානසිකව දුබල බවින් උපදින්නෝ බලවත් කුශල කර්මයකින් උපන්නෝ නොවෙති . ( අහේතුක / දිවිහේතුක ) එබැවින් ඉන්ද්රීයන්ගෙන් කකුදු හෝ දුබල බවින් යුක්ත නම් ධර්මය අවබෝධයට එය බාදාවකි . කිසියම් කුශල කර්මයක් බලවත්ව සිදු කිරීමට නොහැකි වන්නේය .

07 . මිතයා දෘෂ්ඨි ගෙන සිටින කාලය -
දශ අකුසල කර්මයන්ගේ බලවත්ම අකුශල කර්මය වන්නේ මිතයා දෘශ්ටියයි . එහි බලවත්කම කෙසේද යත් ලෝක විනාශය සිදුවන කාලයෙහිදිත් වැරදි දෘශ්ටි ගත වූවන් වෙනත් සක්වලවල්වල අපාය භූමියන්හි උපදින බව දැක්වේ . දැඩිව මිත්යා දෘශ්ටි ගත වූවන්ට කිසිම කුශල කර්මයක් සිදුකල නොහෙක්කේය .

08 . අබුද්ධෝත්පාද කාලය - බුදුවරයෙකු පහළවීම ධර්මය පහළ වීමයි . පසේ බුදුවරයන් වහන්සේ නමකට හැර අන් කිසිවෙකුට අබුද්ධෝත්පාද කාලයන්හි ධර්මය අවබෝධ කළ නොහැක . දානාදී පින්කම් වුවද උසස් ලෙස සිදුකළ නොහැක්කේය .

සියලු සත්වයෝ අප්‍රමාදී වෙත්වා...!

Saturday, January 18, 2014

මරණයෙන් කෙළවර වන අනියත ජීවිතය

Posted on October 31, 2013 by dahamsabava

වධක පච්චුඨානතො (වධකයකු හිස ගසන්නට එළැඹී සිටියා සේ මරණය ද වහා පැමිණේයැ’යි සිහිකිරීම) හා සම්පත්ති විපත්තිතො (කවර සම්පත්තියක් වුවත් විපත්තියෙන් කෙළවර වන්නේ ය. ජීවිතය ද මරණයත් සමඟ විනාශ වන්නේයැ’යි සිහිකිරීම)

මෙලොව උපත කරා එන සත්වයා තනිවම පැමිණෙන්නේ ය. ගෙන එන ධනයක් නැත. පරලොවද තනිවම යන්නේ ය. වස්තු භෝග ද අතැර දමා කර්මානුරූපව සසරට වැටී නැවත නැවත දුක් විඳිමින් මරණය කරාම පැමිණෙයි. උපන් සත්වයාගේ ස්වභාව වන්නේ කා බී සතුටින්, වස්තුව, ධනය රැස්කරමින් සැප සේ සැම දා ජීවත්වීමේ කැමැත්තයි. එහෙත් කැමැත්ත පරිදි කිසිවක් ලොව ස්ථිරව නොපැවැත්ම පරම සත්‍යය වේ. එනම් අනිත්‍යතාව ලොවෙහි යථාර්ථයයි. ඒ බව වටහා නොගැනීම අනුවණකමකි.

පුත්තාමත්ථි ධනම්මත්ථි
ඉති බාලො විහඤ්ඤති
අත්තාහි අත්තනො නත්ථි
කුතො පුත්තා කුතො ධනං
(ධම්මපදය – බාල වග්ගය)

මාගේ දරුවන් බොහෝ ඇත. මා හට ධනයද ඇත. එසේ සිතා තව තවත් ධනය රැස් කිරීමට දිවා රාත්‍රී වෙහෙසෙයි. (දරුවන් සහ ධනය කෙරෙහි මහත් වූ ආශාවෙන් ගිජුව කල් ගෙවයි.) තමාට තමාවත් නැතිකොට දරුවන් කොයින්ද? ධනය කොයින්ද? සියල්ල තාවකාලික වන්නේ ය. ස්ථිර නොවන්නේ ය.

හෙළන සුසුමක් පාසා සත්වයාගේ ආයු ගෙවී යන්නේ ය. මෙසේ වරුවෙන්, දිනයෙන්, සතියෙන්, වසරෙන් පරමායුෂ ගෙවී යන්නේ ය. ජරා ව්‍යාධියෙන් අනතුරුව බොහෝ දුක් විඳින්නේ ය. උපත සමඟ මරණය දක්වා යන සත්වයාට ස්ථිර වූ සැපයක් නැත්තේමය. සියලු ලෝකයාම මෙම විපරිණාමයට මුහුණ දිය යුතු වන්නේ ය. ලොව යථා ස්වභාව පහත සඳහන් කරුණුවලින් මනාව තේරුම් කර ගත හැකි ය.

* “හා යොබ්බනා ජරා අන්තා”

(අහෝ ! හැම තරුණකමක්ම ජරාව කෙළවර කොට ඇත.)

*“හා විනාසන්තා මහද්ධනා”

(අහෝ ! හැම ධන සම්පතක්ම විනාශය කෙළවර කොට ඇත)

* “හා සංයෝගා වියොගන්තා”

(අහෝ ! හැම එක්වීමක්ම වෙන්වීම කෙළවර කොට ඇත.)

* “හා මතන්තා සජීවකා”

(අහෝ ! හැම ජීවිතයක්ම මරණය කෙළවර කොට ඇත.)

* “හා ආලයා සොකන්තා”

(අහෝ ! හැම ප්‍රේමයක්ම ශෝකය කෙළවර කොට ඇත.)

* “හා ථොමනා විනිනදන්තා”

(අහෝ ! හැම ස්තුතියක්ම නින්දාව කෙළවර කොට ඇත.)

* “හා සුඛා සබ්බ සො දුක්ඛා”

(අහෝ ! හැම සැපතක්ම හැම අතින් ම දුක් කෙළවර කොට ඇත.)

මෙම විපරිණාම ධර්ම මෙනෙහි කරමින් මරණ සතිය වඩන අනෙක් ක්‍රම වටහා ගනිමු. එවිට ජීවිත මදයෙන් මත්වෙන අකුසල් දහම්වලින් වැළැකී ජීවිතයේ අස්ථිර භාවය හොඳින් තේරුම් ගෙන නිවන පරම කොට වැඩීමේ කුසල ඡන්දය මතු කර ගැනීමට ශක්තිය වීර්යය තමා තුළින් ප්‍රකට කර ගැනීමට හැකියාව සැලසේ.

1. උපසංහරණතො

මහත් යස පරිවාරයෙන් යුතු පුණ්‍ය මහිමයෙන් යුතු අය ද මරණයට පත් වූහ. එසේ මරණය මා හට ද ක්ෂණ මාත්‍රයෙන් පැමිණේ යැයි සිහිකිරීම උපසංහරණය නම් වේ.

* යස පරිවාරයෙන් යුතු රජ, මැති, සිටුවරුන් ආදී කොටැති මහා බලවතුන්ද මරණයට පත් විය. අල්ප යසස් ඇති මාගේ ජීවිතය ඒකාන්තයෙන් මරණයට යන්නේ ය. ජීවිතය අනියතයි, මරණය නියතයි යනුවෙන් නිතර සිහිපත් කළ යුතු ය.

* මහත් වූ පුණ්‍ය ශක්තියෙන් යුතු අනාථ පිණ්ඩික සිටුතුමා, විශාඛා මහා උපාසිකාව ඇතුළු පුණ්‍යවන්තයෝ ද මරණයට පත්වූහ. අල්ප පුණ්‍ය ශක්තියක් ඇති මාගේ ජීවිතය ද ඒකාන්ත කොට මරණයට පත්වන්නේ ය. ජීවිතය අනියතයි, මරණය නියතයි යනුවෙන් නිරන්තරයෙන් සිහිපත් කළ යුතු ය.

* කාය ශක්තියෙන් හෙබි දස මහා යෝධයෝ ද, කාය ශක්තියෙන් පිරිහි මරණයට පත් වූහ. කාය බලය හීන වූ මාගේ ජීවිතය ද ඒකාන්ත කොට මරණයට පැමිණෙන්නේ ය. ජීවිතය අනියතයි, මරණය නියතයි යනුවෙන් නිරතුරු සිහිපත් කළ යුතු ය.

* බුදු, පසේ බුදු මහරහතන් වහන්සේගේ ජීවිතය ද මරණයට පත් විය. මා හට ද මරණය ඒකාන්ත කොට ඇත. ජීවිතය අනියතයි. මරණය නියතයි යනුවෙන් සිහි කටයුතු යි.

* සෘද්ධිමත් වූ දීර්ඝායුෂ වූ දෙවි බඹුන්ගේ ජීවිතය ද මරණයට පත්විය. අල්ප ආයුෂ ඇති මාගේ ජීවිතය ද ඒකාන්ත කොට මරණයට පත්වන්නේ ය. ජීවිතය අනියතයි, මරණය නියතයි යැයි නිරතුරු සිහිපත් කළ යුතු ය.

2. කාය බහු සාධාරණතො

ස්වකීය ශරීර කූඩුව බොහෝ සත්වයන්ට සාධාරණ බව (අසූ කුලයක් පණුවන් ආදී විවිධ සතුන්ගේ ගොදුරක් බව) සලකා මරණසතිය වැඩීම කාය බහුසාධාරණය වන්නේ වේ.

* මෙම කයෙහි සිවිය, සම, මස්, නහර, ඇට සහ ඇට මිදුළු ඇසුරු කරමින් අසූ කුලයක පණුවන් සාරය උරාබොමින් වාසය කරන්නේ ය. ප්‍රාණීන්ට සාධාරණ වන්නේය. ඔවුන්ගේ කිපීමෙන් මරණය ඒකාන්ත කොට පැමිණෙන්නේ ය. ජීවිතය අනිත්‍යයි, මරණය නියතයි යනුවෙන් නිතර සිහි කළ යුතු ය.

* දෙතිස් කුණප කොට්ඨාසයෙන් පිරුණා වූ ශරීරය තුළ කුමන හෝ ස්ථානයක සුව කළ නොහැකි රෝගයක් හටගෙන මරණයට පත්වන්නට සිදුවේ. එම නිසා මෙම ශරීරය විවිධ වූ රෝගයන්ට සාධාරණ බව සලකා මරණ සතිය වැඩිය යුතු ය. ජීවිතය අනිත්‍යයි, මරණය නියතයි යනුවෙන් සිහිපත් කළ යුතු ය.

* මේ කය මැසි, මදුරුවන්, උකුණන් හට ද පත්තෑ, කුණකටු, නයි පොළොං ආදී ඝෝරවිෂ ඇති සර්ප කුලයන්ටද සුනඛ, සිංහ, වලස්, කොටි, ව්‍යාඝ්‍ර, අලි, ගව ආදී සතුන්ටද මනුෂ්‍ය, අමනුෂ්‍ය ආදී අනේකවිධ සත්වයන්ට ද සාධාරණ වන්නේ ය. ජීවිතය අනියතයි, මරණය නියතයි යනුවෙන් නිරන්තරයෙන් මෙනෙහි කටයුතු ය.

* වැසි, සුළං, නාය යෑම්, සුනාමි, ගංවතුර, වස, විෂ, ගිනි, බෝම්බ, විදුලි සැර වැදීම්, කඩු, කිනිසි, පොලු පහර, අකුණුසැර වැදීම් ආදී බාහිර උපද්‍රවයන්ට ද මේ කය සාධාරණ බැවින් මරණය ඕනෑම මොහොතක සිදුවිය හැකි වන්නේ ය. ජීවිතය අනිත්‍යයි, මරණය නියතයි යනුවෙන් සිහිපත් කළ යුතු ය.

* මුහුද, ගංගා, ඇළ දොළ, ඇසුරු කරගෙන ජීවත්වෙන කිඹුලන්, තල් මසුන්, මෝරුන්, ආදී සතුන්ටද සාධාරණ වුණු මරණය ඒකාන්ත කොට ඇත්තේ ය. ජීවිතය අනිත්‍යය, මරණය නියතයි යනුවෙන් සිහිපත් කළ යුතු ය.

3. ආයු දුබ්බලතො

ආයුෂ නොඑසේ නම් පණ නම් ඉතා දුබල බව සිතා මරණ සතිය වැඩීම ආයු දුබ්බලතාව නම් වේ. ආහාර පාන, සෘතු, උෂ්ණය, ආශ්වාස ප්‍රාශ්වාස ආධාරයෙන් ජීවිතය පවතින්නේ ය. මේවායේ කිපීමෙන් මරණය වන්නේ යැයි නිරතුරු සිහිපත් කළ යුතු ය.

අභ්‍යන්තර වායෝ ධාතුව (කුස තුළ, බඩවැල් ඇතුළත, ශරීරය පුරා දිවයන වායුව, උඩ අතට දිවයන වායුව, පහළට දිවයන වායුව, ආශ්වාස ප්‍රාශ්වාස වාතය) සමතුලිත නොවීමෙන්, කිපීමෙන්, මරණය ක්ෂණයකින් පැමිණෙන්නේ ය.

* සීත උෂ්ණ දෙක කිපීම උත්සන්නවීමෙන් මරණය වන්නේ ය.

* සතර මහා භූතයන්ගේ (පඨවි, ආපෝ, තේජෝ, වායෝ) විෂමභාවයට පත්වීමෙන් මරණය සිදුවන්නේ ය.

* යන, එන, සිටින, හිඳින, නැමෙන, දිගහැරෙන, වකුටුවෙන, නිදන ඉරියව්වක වෙනස් වීමෙන්, වැටීමෙන්, ලිස්සායෑමෙන්, පෙරැළීමෙන්, අත් පා සිඳීම් ආදියෙන් මරණය පැමිණෙන්නේ ය. මේ ආකාරයෙන් මෙනෙහි කරමින් මරණ සතිය භාවිතයෙන් බහුලකොට වැඩිය යුතු ය.

4. අනිමිත්තතො

සත්වයාගේ ජීවිතය කොපමණ කලක් පවතීද, කුමන රෝගයකින් මරණය වන්නේ ද, කාලය කෙසේ වන්නේද, මෘත දේහය කවර ස්ථානයක යට කරයි ද, මරණින් මතු උපදින තැන සුගති දුගති වශයෙන් කෙසේවේදැයි ස්ථිර වශයෙන් නියමක් නැති බැවින් ‘අනිමිත්ත’ යැයි සලකා මරණය ඒකාන්ත කොට පැමිණෙන්නේ යැයි මරණසතිය වැඩිය යුතු ය.

5. අද්ධාන පරිච්ඡෙදතො

මිනිසුන්ගේ ජීවිතය මෙතෙක් කල් පැවැතිය යුතු යැයි නිශ්චිත කාලසීමාවක් පැණවිය නොහැකිය. මරණය කවර වයස් පරතරයක් ඇතුළත පැමිණිය හැකි දැයි ස්ථිර කළ නොහැකිය. එසේ සලකා ජීවිතය අනියතයි, මරණය නියතයි, ඒකාන්ත කොට මරණය පැමිණේයැයි සිහි කළයුතු ය.

* හිඳගෙන සිටින විට මරණය පැමිණෙයි.

* සිටගෙන සිටින විට මරණය පැමිණෙයි.

* යන එන විට මරණය පැමිණෙයි.

*නින්දේදි ම මරණය කරා පැමිණෙයි.

* ආහාර පානාදිය ගන්නා විට මරණය පැමිණෙයි.

* අඳින පළඳින හැඩවෙන මොහොතකදි මරණය පැමිණෙන්නේ ය.

* හඬන, වැළැපෙන, සිනාසෙන සතුටුවෙන අවස්ථාවකදී මරණය පැමිණේ.

මේ ආකාරයෙන් සලකා මරණ සතිය නිරන්තරයෙන් වැඩිය යුතු ය.

6. ඛණ පරිත්තතො

පරමාර්ථ වශයෙන් සත්වයන්ගේ ජීවිත කාලය ක්ෂණයකි. ඉතා ස්වල්ප වන්නේ ය.ඒ බව නිතර සිහිපත් කළ යුතු ය.

* අතීතයට ගිය චිත්තක්ෂණයෙහි පැවැතියා වූ ජීවිතය වර්තමාන චිත්තක්ෂණයට නොපැමිණ මරණය සිදුවන්නේ ය.

* වර්තමාන චිත්තක්‍ෂණයෙහි පවත්නාවූ ජීවිතය අනාගත චිත්තක්ෂණයට නොපැමිණ මරණය සිදුවන්නේ ය.

* අනාගත චිත්තක්‍ෂණයෙහි පවත්නා වූ ජීවිතය නැවත අනාගත චිත්තක්‍ෂණයට නොපැමිණ මරණය වන්නේ ය.

ජීවිතය අනියතයි, මරණය නියතයි යනුවෙන් නිතර සිහිපත් කළ යුතු ය.

මෙසේ මරණය සිහිපත් කිරීම අප්‍රමාදයට හේතු වන්නේ ය. සිතේ හටගන්නා අකුසල් ප්‍රහාණය කිරීමට වීර්යය ඇතිවන්නේ ය. රැස්කිරීම් බලාපොරොත්තු අඩු කළ හැකි වන්නේ ය. ජීවිතමදය නැතිවන්නේ ය. සිතෙහි පීඩා කරදර වියැකී යන්නේ ය.මරණ බිය නැති වන්නේ ය. ජීවිතයේ අර්ථය සැලැසෙන්නේ ය

දහම් සභාව

තණ අග රැඳි පිනි බිඳ බඳු අනියත ජීවිතය

life-after-death-1ජීවිතයේ අස්ථිර බව හොඳින් වටහා ගන්න. මරණය ස්ථිර බැවින් මරණසතිය මැනැවින් වඩන්න.
මරණානුස්සති භාවනාව පිළිබඳ ලෝකයාට මැනැවින් කරුණු කාරණා දේශනා කරනු ලබන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසිනි. එහි යම් අඩුවක් හෝ දෝෂයක් හෝ ඇතැයි කිසිවකුට තර්කයක් හෝ වාදයක් කළ නොහැකිය. එසේ සිතන්නේ නම් එය ඔවුන්ට දිගුකලක් අහිත පිණිස, දුක් පිණිස පවතින්නේ ය.
සිතේ ස්වභාව වන්නේ සසරට ඇදී යෑමයි. චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා (අවිද්‍යාව) කර්ම රැස් කරයි. රැස් කරන තාක් ඉපදීම හා මරණය පැමිණෙයි. එය නොවේවායි පැතුවාට සිදු නොවේ. ජරාමරණයන්ගෙන් නිදහස් වන මාවත මැදුම් මාවතයි. එම මාර්ගයෙන්, අන්තදෙකට වැටෙන සිත මැනැවින් කළමනාකරණය කරගෙන ස්වයං භූ ඥානයෙන් සියල්ල අවබෝධ කරගත් ලොව්තුරා බුදුන්වහන්සේ කරුණා අභ්‍යාසයෙන් යුතුව, ලෝකයාට මැදුම්මාවත විමුක්තියට ඒකායන මාර්ගය බව දේශනා කළ සේක. සතිපට්ඨානය වැඩීම සියලු දුකින් මිදීමටත්, සැනසිල්ලට හා නිවීමටත් උපකාර වන්නේ යැයි විභජනය කොට (බෙදාහරිමින්) විවෘත කර දේශනා කොට වදාළ සේක.
කර්ම රැස් කර ඉපැදී මියයන සත්වයාගේ පසුපස එන අකුසල කර්ම විපාකදීම, කුසල කර්ම විපාක දීම, සතර අපාදි දුක්ඛයට වැටී තීව්‍ර කටුක දුක් විඳින කාල සීමාව, නැවත සුගතියට එන හේතු සාධක, සුගතියෙන් දුගතියට නැවත වැටෙන ආකාරය පිළිබඳ සත්‍ය වශයෙන් කිවහැක්කේ තථාගතයන් වහන්සේට පමණක් බව මහා කම්ම විභංග සූත්‍රයෙන් මනාව හෙළි දරව් වේ.
දිනක් අලව් නුවරට වැඩම කළ බුදුන් වහන්සේ (නුවර වැසියන්ගේ ආරාධනා පරිදි) දනව් වැසියන් විසින් පිරිනමන ලද දානය පිළිගෙන වැළැඳීමෙන් අනතුරුව මහා පිරිසට මරණ සතිය වැඩීමේ අනුසස් වදාළ සේක. ඒ දහම් ඇසූ බොහෝ දෙනා තම නිවෙස්වලට ගොස් දෛනික කටයුතුවල නිරත වූහ. එම දේශනාවට මැනැවින් දෙසවන් යොමු කළ සොළොස් හැවිරිදි එක් පේෂකාර දියණියක් පැහැදී මෙසේ සිතුවා ය.
අහෝ ! බුදුරජුන් වදාළ දේශනාව ඉතා මනරම්ය. අගනේ ය. සියලු දෙනාට යහපත, සැනසීම උදාකරදෙන්නේ ය. මෙම දහම පිළිපදින යම්කෙනකු ඇත්නම් යහපත දකිනු ඇත. සැපය ලබනු ඇත. මා ද නිරන්තරයෙන් සියලු වැඩකටයුතු කරන අතර, මරණ සතිය වැඩීම සිදු කළ යුතු ය. මෙසේ සිතා තුන් අවුරුද්දක් ම අතපසු නොකොට දිවා රාත්‍රී සැමකල්හිම මරණ සති භාවනාව පුරුදු පුහුණු කළා ය. පහන් සිතින් කාලය ගත කළා ය. නොයෙක් නයින් ගුණයෙන් පිරුණාය. මෙත් කරුණාවෙන් හදවත විකසිත කර ගත්තා ය. සිතෙහි නිරන්තරව මැරෙන බව මෙනෙහි කොට අප්‍රමාදව කුසල් සිත දියුණු කරගත්තා ය. බිය සැක, දුරුකර ගත්තා ය.
වැඩූ සිත් ඇති අය කවුරුදැයි දිනක් අලුයම් වේලෙහි ලොව බැලූ බුදුපියාණන්ට තුන් අවුරුද්දක් මරණ සතිය වඩා ඇති පේෂකාර දියණියගේ මරණය එ දවස සිදුවෙන බවත්, සෝවාන් වීමට වාසනා භාග්‍ය ඇති බවත් පෙනුණි. සෝතාපත්ති ඵලයට පැමිණ නියත ව, මරණය සිදුවෙන බව දැක මහත් කරුණාවෙන් අලව් නුවර අග්ගලාව විහාරයට වැඩිසේක. බොහෝ දෙනා බණ ඇසීමට වෙහෙරට රැස්වූහ. පේෂකාර දියණිය ද සිය පියාගේ පේෂ කර්මාන්තයට අවශ්‍ය කළමනා කිසිවක් රැගෙන යන අතර, වෙහෙරට ගොස් බණ අසන පිරිස අතර හිඳගත්තා ය. ඇය කෙරෙහි කරුණාවෙන් බුදුන් වහන්සේ මෙසේ ප්‍රශ්න කිහිපයක් ඇයගෙන් විමසූ සේක.
බුදුරජාණන් වහන්සේ -දියණිය, කොහිසිට ආවෙහිද?
පේෂකාර දියණිය -මම නොදනිමි, බුදුන්වහන්ස.
බුදුන්වහන්සේ -කොහි යන්නෙහිද?
පේෂකාර දියණිය -මම නොදනිමි බුදුන්වහන්ස.
බුදුන්වහන්සේ - 
නොදන්නෙහිද?
පේෂකාරදියණිය - 
මම දනිමි. බුදුන් වහන්ස.
බුදුන් වහන්සේ - 
දන්නෙහිද?
පේෂකාරදියණිය- 
මම නොදනිමි බුදුන්වහන්ස.
මෙම ප්‍රශ්න සතරට එක එල්ලේ ඒ ආකාරයෙන් පිළිතුරු දීම ගැන පිරිස කලබල වූහ. ඇය විසින් කටට ආ දෙයක් නොවිචාරා කියන ලද්දේ වේයැයි සිතා කලබල වූ පිරිස සන්සිඳවා සිවු පැනයන්ට මෙසේ උත්තර දීම ගැන ඇයගෙන් විමසූ සේක. පළමුවෙන් විමසූ පැනයට නොදනිමි කියා පිළිතුරු දුන්නේ, පෙර සසරේ මා කවරෙක් වූවා දැයි නොදත් නිසායි. කොහියන්නෙහිද? යන පැනයට මම නොදනිමි යැයි කීවේ මියගොස් උපදින තැන නොදන්නා නිසයි. නොදන්නෙහිද? දනිමියි පිළිතුරු දුන්නේ මැරෙන බව ස්ථිර බව දන්නා හෙයිනි.දන්නෙහිද? මම නොදනිමි ලෙස පිළිතුරු දුන්නේ මැරෙන වේලාව නොදන්නා නිසයි.
මෙසේ නුවණින් පිළිතුරු දීම ගැන ඇයට ප්‍රශංසා කොට මෙම ගාථාව බුදුන්වහන්සේ දේශනා කොට වදාළ සේක.
අන්ධභූතො අයං ලොකො
තනුකෙත්ථ විපස්සති
සකුන්තො ජාල මුන්තො ව
අප්පො සග්ගාය ගච්ඡති
අවිද්‍යාව ප්‍රත්‍ය කොට ලෝවැසියා අන්ධව ජීවිතය ගත කරන්නේ ය. ටික දෙනෙක් පමණක් පංචස්කන්ධය නැසෙන බිඳෙන බව අනිච්ච වශයෙන් අවබෝධකරගෙන අප්‍රමාදව කටයුතු කර මරණින් මතු සුගතියට හෝ නිවනට පත්වෙති. කෙසේද යත්, දැලින් මිදුණු වටුවකු මරණයෙන් බේරී යන්නා සේය. (වටු වැද්දකු දැමූ දැලට අසු නොවී ඉන් ගැලවී බේරියන වටුවන් මෙන්)
දේශනා අවසානයෙහි පේෂකාර දියණිය වැඩු මරණ සතිය ඇති, ඉන්ද්‍රිය ධර්මයන් මෝරා ඇති, අප්‍රමාද විහරණයෙන් යුක්ත වූ තැනැත්තී සක්කාය දිට්ඨිය ප්‍රහීණ වීමෙන් (තුන් සංයෝජන) සෝවාන් ඵලයට පත් වූවා ය.
ඔබත් පේෂකාරදියණිය මෙන් මරණ සතිය නිරන්තරයෙන්ම භාවිතයෙන් බහුල ලෙස වැඩීමට පහත සඳහන් ක්‍රම ආකාරයන් කියවා අප්‍රමාද වන්නට කටයුතු කරන්න. ලෝක සත්වයා සැමදා ජීවත්වීමට කැමැත්තක් ඇති කරගෙන සිටියත්, සෑම තප්පරයක් තප්පරයක් පාසාම ආයුෂ ගෙවී යන්නේ ය. හිඳින, දිග හැරෙන, නැවෙන, ඇවිදින, සිටින, නිදන, වටපිට බලන, කතා කරන, බලන, අසන, රසවිඳින, පහස ලබන හැම ක්‍රියාවක්හිම ආයුෂ ගෙවී ඇත්තේ ය. සිතන පතන හැම තප්පරයකම ආයුෂ ගෙවීයයි. මෙසේ දින, සති, මාස, අවුරුදු මරණයට ම සමීපවන්නේ ය. නමුත් අවිද්‍යා සහගතව බලන අයට පෙනෙන්නේ තමා සදාකාලික බවය. උදාහරණයක් සලකා බලමු. උදේ පාසල් යන දරුවා සවස ගෙදරට එන විට පෙනෙන්නේ උදේ සිටිය දරුවා ලෙසට ය. එම දරුවා ගෙදර සිටින අයට පෙනෙන්නේ ද එසේමය. එහෙත් පැය හයක, හතක කාල පරිච්ඡේදය තුළ වෙනස් වීම, විපරිණාමය ඔවුන්ට අවබෝධ නොවේ. අඩුම තරමේ පිපාසය වු වාරගණන, මලමුත්‍රා කළ වාර ගණන, විවිධ ආබාධ හටගත් වාරගණන, සීත, උෂ්ණය, දහදිය වැගිරීම, ඉරියව්වල විකාරභාවය, සිතේ හටගත් සිතිවිලිවල වේගය, කුසල් අකුසල් රැස් කිරීම, එයින් සිත වැඩි වාර ගණනක් පාපයට ඇදීයාම, පි‍්‍රය අපි‍්‍රය භාවය, කාමයන් මුල් කරගෙන හටගත් දහනය ආදිය පිළිබඳ නුවණින් විමසීමක් සිදු නොවේ. එම මොහොතේ මරණය සිදුවෙතැයි සිත හසුරුවා ගත යුතු ආකාරය ගැන ද අවබෝධයක් නැත.
එමනිසා පහන් සිතකින් මරණයට මුහුණ දීමට මෙන්ම තමාට තමා අයත් ලෝකයක් සදාකාලික කිසිවක් නැතිහෙයින්, පරම සුවය වන නිවන අවබෝධ කර ගැනීමටද මරණ සතිය වැඩිය යුතු ය.
1. වධක පච්චුඨානතො
වධකයකු හිස ගසන්නට එළැඹි සිටියාසේ මරණය ද වහා පැමිණේ යැයි සිහිකිරීම වධක පච්චුපට්ඨානය නම් වේ. පළිගැනීමේ චේතනාවෙන් බොහෝ කලක් සිට ඒ සඳහා අවස්ථාව එළැඹි වහාම සතුරාගේ ජීවිතය තොරකරන්නේ යම්සේද එපරිද්දෙන් මා කරාද ක්‍ෂණ මාත්‍රයෙන් මරණය පැමිණෙතැයි ජීවිතය අනියතයි, මරණය නියතයි යනාදී වශයෙන් භාවනා මනසිකාරය වැඩිය යුතු ය.
* උදාවෙන සූර්යයා මොහොතකුදු නොනැවතී මුදුන් වී නැවත ද මොහොතක්වත් නොනැවතී වහා වහා අස්තයට යන්නේ යම්සේද
* කඳු මුදුනේ පටන් ගත් ගඟක් ශීඝ්‍රව වෙනස් වෙමින් නොනැවතී සාගරයට ගලා යන්නේ යම්සේ ද ජීවිතය ද උප්පත්තියේ සිට ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසාම මරණය කරා පැමිණෙන්නේ ය.
* අහසෙහි පාවෙන වළාකුළු, මහත් වූ සුළඟින්, විසිරී නොපෙනී යන්නේ යම්සේද, අධ්‍යාත්මික වයෝ ධාතුව කිපී මරණය වහා පැමිණෙන්නේ ය.
* වැසි සමයෙහි අහසෙහි දිස්වෙන විදුලි එළිය ඇතිවී ක්ෂණ මාත්‍රයෙන් අහෝසි වී යන්නේ යම්සේද, උපන්නා වූ සත්වයාගේ ජීවිතය සැනකින් මරණයට යන්නේ ය.
* ගසක මල් පිපී සුවඳ හමන මොහොත තුළ දී වැසි හෝ සුළං හමා මල් පෙති විසිරී ගසයට පතිත වන්නේ යම්සේද, සත්වයාගේ ජීවිතය ද මරණ නමැති සුළඟින් විසිරී යන්නේය, පතිත වන්නේ ය.
* ඉදුණු මිහිරි ඵලය නටුවෙන් ගිලිහී යන්නාසේ, ජීවිතය ද මරණයෙන් ගිලිහී යන්නේ ය.
* දිය ඇදි ඉර වහා මැකීයන්නේ යම්සේද ජීවිතය ද ඒකාන්තයෙන් මරණය සමඟ මැකී යන්නේ ය.
* විසිතුරු කරන ලද මැටි භාජනයක් වැටී බිඳීයන්නේ යම්සේද, සත්වයාගේ කයද මරණයෙන් බිඳී යන්නේ ය.
* තණ අග ඇති පිනිබිඳු හිරු උදාවත්ම අතුරුදන් වන්නේ යම්සේද, උපන්නාවූ ජීවිතය මරණයත් සමඟ නැතිවන්නේ ය.
* වැසි වසින කල දිය මත හටගත් බුබුළු බිඳීයන්නේ යම්සේද ජීවිතයද මරණය සමඟ මොහොතකදී බිඳී යන්නේ ය.
මෙලෙස කඩුවක් අමෝරාගත් වධකයකු පැමිණ සිටියාසේ මා වෙත ක්‍ෂණ මාත්‍රයෙන් මරණය පැමිණෙන්නේ යැයි ජීවිතය අනියතයි මරණය නියතයි යනාදී වශයෙන් මරණ සතිය සිහිපත් කළ යුතු ය.
2. සම්පත්ති විපත්තිතො
නිරෝගී සම්පත්තිය, පරිවාර සම්පත්තිය, ධන සම්පත්තිය, බල සම්පත්තිය ආදී කොටැති කවර සම්පත්තියක් වුවද, විපත්තියෙන් කෙළවර වන්නේ ය. ජීවිතය ද මරණයත් සමඟ විනාශ වන්නේ යැයි සිතීම, සිහිකිරීම සම්පත්ති විපත්ති නම් වේ.
* තරුණ සම්පත්තිය ජරාව කෙළවර කොට ඇතැයි ජීවිතය අනිත්‍යයි මරණය නියතයි යනුවෙන් සිහිකළ යුතු ය. ද්වාරයන්ගෙන් වැගිරෙන්නා වූ දෑ තරුණය කියා සුවඳවත් නොවේ. දුගඳ හමන්නේ ය. එසේ කලකිරීම ප්‍රකට කොට තරුණ මදය ප්‍රහාණය කොට මානාදි ක්ලේශ ධර්ම සමුච්ඡේදනය කිරීම පිණිස වීර්යය කළ යුතු ය. උපත සමඟ විපත ඒකාන්ත කොට ඇතැයි මරණසතිය වැඩිය යුතු ය.
* ආරෝග්‍ය සම්පත්තිය ව්‍යාධි ආදියෙන් විපත්ති බහුලකොට ඇතැයි, කුමන ලෙඩකින් ජීවිතයට විපත්ගෙන දී මරණය තමා කරා පැමිණෙන්නේදැයි කිව නොහැකියයි සලකා මරණසතිය සිහි කටයුතු ය.
* සාමිස පී‍්‍රතිය ශෝකය කෙළවර කොට ඇත. ජීවිත සම්පත්තියද ශෝකයත් සමඟ විපත්තිය කරා පැමිණෙන්නේ ය.
* මහා පර්වත සතර දිශාවෙන් මහත් වූ ශබ්දයෙන් හඬ නඟා පෙරැළී එන්නා සේ, ජරා මරණ නමැති මහා පර්වතයද රජ, මැති, ඇමැති ආදී බලවතුන් හා කිසිවක් කර කියා ගත නොහැකි දුබලයන් ආදී භේදයකින් තොරව විනාශයට පත්කරමින් විපත්තිය ගෙන දෙන්නේ ය. එබැවින් ජීවිතය අනියතයි, මරණය නියතයි යනුවෙන් නිරන්තරයෙන් සිහිපත් කළ යුතු ය.
සිවුරඟ සේනාවන් හාත්පසින් ශක්තිමත් කරගෙන යුද්ධ කරමින් රාජධානී ජය ගත්තත්, ජරා මරණ වේගය සත්වයා යටපත් කරගෙන පැමිණෙන විට සිවුරඟ සේනා බලයට කිසිවක් කර කියා ගත නොහැකිය. ජරාමරණය ජය ගන්නේ ය. මෙසේ නුවණින් යුතුව මරණ සතිය වැඩිය යුතු ය.

ඇගේ භාවනාව

401071_214633205297249_601305236_nඒ ගෘහිණිය නිවෙසේ කටයුතු අවසන් කර, බුදු කුටියට පිවිසුණා ය. මල් පහන් පුදා බුදුන් වැන්ද ඇගේ සිත භාවනාවට යොමු විය. මේ ඒ පිළිබඳ සටහනකි.
දිවා කාලයේ නිවෙසේ කටයුතු නිමා කළ ඇය ලහි-ලහියේ සවස බුදු පුදට සැරසුණා ය; සුපුරුදු පරිදි මල් කිහිපයක් කඩාගෙන විත් මල් බඳුන පිළිවෙළට සූදානම් කර පූජා කළා ය; බුදු පහන දැල්වූවා ය.
ගනසාරප්ප දිත්තේන
දීපේන තමදංසිනා
තිලෝක දීපං සම්බුද්ධං
පූජයාමි තමෝනුදං
තුන් ලෝකයට ම ප්‍රදීපයක් බඳු වූ බුදු රජාණන් වහන්සේට මේ පහන් ආලෝකය පූජා කරමි. මෝහාන්ධකාරය දුරු වී ප්‍රඥාලෝකය ලැබීමට මේ කුසලය හේතු වේ වා!
පූජේමි බුද්ධං කුසුමේන නේන
පුඤ්ඥේන මේතේන
ලබාමි මොක්ඛං
පුප්ඵං මිලායාති යථා ඉදම්මේ
කායෝ තථායාති විනාස භාවං
මේ මල් බුදු රජාණන් වහන්සේට පූජා කරමි. මේ මල් මලානික වී යන්නේ යම් සේ ද එලෙසින් ම විනාශ වී යන ශරීරයේ යථා ස්වභාවය අවබෝධ වී නිවන් දැකීමට මේ කුසලය හේතු වේ වා!
මෙලෙස මුමුනමින් බුදු පියාණන් වහන්සේ කෙරෙහි අසීමිත ශ්‍රද්ධාවෙන් මල් පහන් පූජා කළ ඇය දෑස පියාගත්තා ය. මල් පූජාව ම ඇයට කමටහනක් විය. දිගින් දිගට ම ඇගේ සිතිවිලි මෙසේ දිග හැරිණ:
මේ මල් ඉතා ම සුවඳවත්. ඒ වගේ ම ලස්සන යි. මල් වට්ටිය පිළිවෙළට සකස් කළා ම ඊටත් වඩා ලස්සන යි. දකින විට සිතට හරි ම පියකරු දසුනක්. මේ ලස්සන මල් පූජා කරන්නේ ලෝකයට පහළ වූ ලස්සනින් අගතැන්පත් උතුම් ම රන්වන් සිරුරක් දරාගෙන වැඩ සිටි බුදු රජාණන් වහන්සේට යි. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණවලින් ශෝභාවත් වූ, ෂඩ් වර්ණ ඝණ රශ්මි මාලාවකින් බැබළෙන බුදු රජාණන් වහන්සේගේ රන්වන් පාට ශ්‍රී ශරීරය කොතරම් අසිරිමත් ද? නමුත් ඒ ශ්‍රී ශරීරය දෙස ආශාවෙන් බලාගෙන සිටි වක්කලී හිමියන්ට බුදු හිමියන් දේශනා කළේ “වක්කලී, මේ කුණු වී දිරා යන ශරීරය දෙස බැලීමෙන් ඇති ඵලය කුමක් ද? ධර්මය දකින්නට උත්සාහ කරන්න” කියල යි.
සම්මා සම්බුදු පදවිය ලද, දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණවලින් විසිතුරු වූ රන්වන් සිරුර සැදී ඇත්තේ දෙතිස් කුණප කොටස්වලින් බව යි උන් වහන්සේ එදා මතක් කර දුන්නේ. අවුරුදු 80ක් වයස් වූ බුදු පියාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් අමතා “ආනන්දය, මගේ ශරීරය දැන් දිරා ගිය අබලන් වූ කරත්තයක් වගෙයි” කියා තමන් වහන්සේගේ ශරීරය ජරාව, මරණය කරා පැමිණෙමින් තිබෙන බව දේශනා කර තිබෙනවා. අද කායික බලය, ශක්තිය, නීරෝගී බව තිබුණත් තව අවුරුදු කිහිපයක් යද්දී මගේ ශරීරයත් ජරාව මරණය කරා ටිකින් ටික ළං වේවි; නීරෝගී බව නැති වී රෝග-පීඩාවලින් දුක් විඳින්නට සිදු වේවි.
මේ පූජා කළ මල් ටික තව පැය කිහිපයක් යද්දී මැලවී ප්‍රාණවත් බව, ලස්සන නැති වී යනු ඇත. ටිකින් ටික මහලු වියට පත් වන විට මගේ සිරුරේ ප්‍රාණවත් බව, නීරෝගී පෙනුම ටිකෙන් ටික නැති වී යාවි. ලස්සනට තිබෙන මල් මිලාන වී යන්නා සේ මගේ සිරුරත් මලානික වෙමින් මරණය කරා ළං වේවි. මැලවුණු මල් පොළොවට වැටුණු පසු දිය වී කුණු වී පොළොවේ පස් අතර නොපෙනී යන්නා සේ මේ ශරීරය ද කුණු වී විනාශ වී පොළොවට පස් වී යනු ඇත.
අචිරං වතයං කායෝ
පඨවිං අධි සෙස්සති
ඡද්ධෝ අපේත විඤ්ඤාණෝ
නිරත්ථං ව කළිඕගරං
මේ සිරුර විඤ්ඤාණය නැති කල වැඩකට නැත. දර කඩක් මෙන් පොළොව මත වැටෙන්නේ ය. මරණයෙන් සිත ඉවත් වූ පසු ව මේ ශරීරය කිසි ම වැඩකට නැති දෙයක්; මොහොතින් මොහොත කුණු වෙමින් ජරාව වැගිරෙමින් විනාශය කරා යන දෙයක්. අන්තිමට ඉතිරි වන ඇට සැකිල්ල පවා පොළොවේ පසට ම එකතු වී යනවා.
පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේගේ ඇඟ පුරා ම සැදුණු විශාල තුවාල ගොඩක් නිසා, බොහෝ වෙහෙසකට දුකකට පත් ව සිටියා. ඒ මොහොතේ බුදු පියාණන් වැඩම කළා. උන් වහන්සේ උණු පැනින් නහවා පිරිසිදු කර, සෝදා වේළා පිරිසිදු කරගත් සිවුරු අන්දවා බුදු පියාණන් මේ ගාථාවෙන් ධර්මය දේශනා කළා. පූතිගත්ත තිස්ස තෙරුණුවෝ ද ඒ අනුව විදසුන් නුවණ ඇති කරගෙන සසර දුකින් නිදහස් වුණා.
පූතිගත්ත තිස්ස තෙරුන්ට තමන්ගේ සිරුරේ ඇති තුවාල නිසා බොහෝ දුක් විඳින්නට, වේදනා ඉවසන්නට සිදු වුණා. ශරීරයේ වේදනාවන් දැනුණේ උන් වහන්සේගේ සිත පැවතීම නිස යි. ශරීරයෙන් සිත ඉවත් වූ පසු සිරුරට කොතරම් දුක් පීඩා තිබුණත් ඒවා නොදැනෙයි. නමුත් මානසික පීඩා, සිත නිසා ඇති වීම වැළැක්විය නොහැකි යි. ඒ නිසා සිතත්, ශරීරයත් දෙක ම දුක් ඇති වීමට හේතු වෙනවා. මේ සිතත්, ශරීරයත් පැවතීම දුකක් ම යි. පංච උපාදාන ස්කන්ධය ම දුකක් බව බුදු පියාණන් දේශනා කර ඇත්තේ ඒ නිසා යි.
මගේ සිරුරටත් වරින් වර ඇති වුණු ලෙඩ දුක් ආදිය නිසා බොහෝ දුකට පත් වුණු අවස්ථා තිබෙනවා. ශරීරයට ඇති වූ ඒ දුක් පීඩා දැනීමට හේතු වුණේ සිත පවතින නිස යි. නින්දගිය වෙලාවට (දුක් පීඩා තිබෙන අවස්ථාවක) ඒ දුක දැනුණේ නැහැ. සමහර විට සිහි නැති වී තිබුණා නම් සිත ක්‍රියාත්මක නොවන නිසා සිරුරට ඇති වූ ඒ පීඩාවන් නොදැනෙන්නට ඉඩ තිබුණා. ඊට අමතර ව මානසික දුක්, වේදනා, සිත් තැවුල්, අපේක්ෂාවන් ඉටු නොවීම් නිසා අලාභ පාඩු නිසා සිතින් දුකට පත් වූ අවස්ථා කොපමණ ද? මේ කායික මානසික සියලු දුක් ඇති වීමට හේතුව සිතේ සහ කයේ පැවැත්ම යි. පංචස්කන්ධයේ පැවැතීම දුකක්.
රසවත් ආහාරවලින් පෝෂණය කරමින්, සෝදා පිරිසිදු කරමින්, අගනා රන් රිදී ආභරණවලින් සරසවා, ආදරයෙන් රැක-බලාගන්නා මේ සිරුර ලෙඩ වෙන්නට පුළුවනි. ජරාවට පත් වී මරණයට පත් වීම අනිවාර්ය යි. ජීවිතය අනියත යි. නමුත් මරණය නියත යි. මම මගේ ලෙසින් සිතාගෙන සිටින ශරීරය තුළින් සිත ඉවත් වූ පසු ව වැඩකට නැති දරකඩක් මෙන් මහ පොළොවට වැටෙන දෙයක්. දර කැබැල්ලක් බිම වැටුණාට, එය දිරාපත් ව ගියාට, එහි පිළිකුලට පත් වෙන, ජරාවට පත් වෙන, දුර්ගන්ධය හමන, දෙයක් නැහැ. පොළොවට පස් වී යෑම පමණ යි. නමුත් මේ ශරීරය මළ කඳක් හැටියට පොළොවට වැටුණාම මළමිනිය කුණු වන විට, මුළු පළාත ම දුර්ගන්ධ යි. ඕජාව ගලා යන විට එතැන පොළොව පවා මහ පිළිකුල් බවට පත් වනවා. නිල මැස්සන්, පණුවන්, බලු, කපුටන් ආදීන්ට පමණයි එතැන සුවඳවත් තැනක් වන්නේ.
ටිකින් ටික මස් දිය වෙමින් අන්තිමට ඉතිරි වන්නේ ඇටකටු ටික විතර යි. ඒ ඇට කටු ටිකත් ටික කාලයක් යන විට දිරාපත් ව මහ පොළොවට පස් වී නොපෙනී යනවා. ජීවත් ව ඉද්දී හැම දෙනා ම ළං වෙලා සිටියත්, කුණු වී ගඳ ගහන මළ මිනිය ළඟට යන්නට, නැත් නම් මස් දිය වී ඉතිරි වී ඇති ඇටසැකිල්ලට ආදරය කරන්නට, “අපේ, මගේ” කියමින් නෑදෑකම් කියන්නට කවුරුත් ම එන්නේ නැහැ. ඇට සැකිල්ල දිරාපත් ව යනවා, පොළොවේ පසට ම එක් වී නොපෙනී යනවා. ඉතිරි ව ඇත්තේ හිස් බවක් පමණ යි. මේ හිස් බව දකින්නේ සිතින් ම යි. ඒ හිස් බව දකින සිතත් හැම මොහොතක ම පවතින්නේ නැහැ. අනිත්‍යයට යනවා. නැවත සිතක් ඇති වෙනවා. එයත් අනිත්‍යයට යනවා. නැවත ඇති වෙනවා. සැම සිතිවිල්ලක් ම අනිත්‍යයට යනවා. මෙලෙස අනිත්‍යයට යන සිතිවිලි තුළ මමෙක් ඇත්තේ කොතැන ද? සිතිවිලිත් අනිත්‍ය යි, අනාත්ම යි, අනිත්‍ය යි, අනාත්ම යි, අනිත්‍ය යි, අනාත්ම යි.
බොහෝ වේලාවකට පසු ව සමාධියෙන් මිදුණ ද සිතත්, ගතත් දෙකට ම දැනෙන ශාන්ත සුවපත් බවත් සමඟ දෑස නැවත නැවත පියවෙයි. සාධු! සාධු! සාධු! ශාන්ත සුවපත් බවින් මුළු ලොව ම සැනසේ වා!

Friday, January 17, 2014

මානසික සැනසීම ලබන්නේ කොහොමද? 

ලෞකික ජීවිතයේ දී අනේක විධ ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව ඔබ දන්නෙහිය. එම සියලු ගැටලුවලට විසඳුම් බුදු දහම තුළ පෙන්වා දී ඇත. ගිහි හෝ පැවිදි හෝ අපට අවශ්‍ය කරන්නේ මානසික සැනසීමයි. එම සැනසිල්ල ලබා ගන්නා ආකාරය මජ්ජිම නිකායට අයත් ‘සබ්බාසව‘ සූත්‍රයේ ඉතා පැහැදිලිව දක්වා ඇත. එහි සඳහන් පරිදි, 1. පටිසේවන පහාතබ්බා - අවශ්‍ය දේවල් අවශ්‍ය පරිදි සීමා සහිතව පරිහරණය කිරීම මඟින් ගැටලු විසඳා ගත හැකිය. ආහාරපාන, ඇඳුම්, පැළඳුම්, ජලය, විදුලිය වැනි සියලු දෙයක්ම ප්‍රමාණය නොඉක්මවා පරිහරණය කළ යුතු ය. එසේ නොකළොත් ආර්ථික, සෞඛ්‍ය මෙන්ම සමාජයෙන් ද පරිහානියට පත්වෙයි. 2. අධිවාසන පහාතබ්බා - ඉවසීම මඟින් ගැටලු නිරාකරණය කර ගත හැකිය. නොඉවසිල්ල නිසා බොහෝ ගැටලු ඇතිවී අවුල් ජාලයක් වන අවස්ථාවන් ඇත. එබැවින් ඉවසීමෙන් සැනසීම ලබාගත හැකි බව සිතිය යුතු ය.‍ 3. පරිවර්ජන පහාතබ්බා - සිතට ආවේගයක් ඇති වූ විට එම ස්ථානයෙන් ඉවත්ව යාම මඟින් බොහෝ ගැටලු විසඳා ගත හැකිය. කලකෝලාහල වැනි අවස්ථාවන්ට පැටලීම මඟින් බොහෝ දෙනා විපතට පත්වන අයුරු දැකිය හැකි ය. 4. විනෝදනා පහාතබ්බා - සිත තුළ ඇතිවන කෝපය, වෛරය පළිගැනීමේ චේතනාව, තණ්හාව, ආශාව වැනි දෙය නිසා ගැටලු ඇති වේ. ඒවා නිසා දරුණු අපරාධ පවා කිරීමට පෙළඹෙයි. එබැවින් එවැනි චේතනා ඉවත් කර ගත යුතු ය. 5. දස්සනා පහාතබ්බා - එනම් අවබෝධයෙන් කටයුතු කිරීමයි. හොඳ සහ නරක පිළිබඳ, කළ යුතු දෙය නොකළ යුතු දෙය පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතු ය. අනෙකුත් ජාතිකයන්, අනෙකුත් ආගමිකයන් පිළිබඳ මනා අවබෝධයක් මෙන්ම සුහදතාවයක් ගොඩනඟා ගත යුතු ය. එසේ නොවුනහොත් ආගමික, වාර්ගික ගැටුම් ඇති වෙයි. 6. සංවර පහාතබ්බා - මෙයින් පෙන්නුම් කරන්නේ පංච ඉන්ද්‍රියයන් සංවර කර ගැනීමයි. සමාජයේ බොහෝ ගැටලු ඇති වන්නේ පංච ඉන්ද්‍රියයන් අසීමිතව පිනවීමට උත්සා ගැනීම නිසායි. එසේනම් සිත, කය,වචනය කියන තිදොර යමෙක් සංවර කරගන්නේ නම් වර්තමානයෙහි අප දකින බොහෝ සමාජ ගැටලු විසඳා ගත හැකි ය. 7. භාවනා පහාතබ්බා - මනස නොහොත් සිත සංවර කර ගැනීම මඟින් සියලු ගැටලු නිරාකරණය කර ගත හැකි ය. බුදු දහමේ ඉගැන්වීමට අනුව සියලු දෙයටම ප්‍රධාන වන්නේ මනස හෙවත් සිතය. යමෙක් සිත සංවර කරගන්නේ නම් හෙතෙම සමාජයට වැඩදායක අයෙකු මිස, සමාජයට කරදරකාරී අයෙක් නොවේ. ඔහුගෙන් හෝ ඇයගෙන් සමාජයට සෙතක් ශාන්තියක් මිස කරදරයක් විපතක් ඇති නොවේ. මනස හෙවත් සිත එකඟ කර ගැනීම මඟින් අපේ සිත සහ හදවත පිරිසුදු කර ගැනීමට හැකියාව ලැබෙයි. එවිට ශක්තිමත් මනසකින් යථාර්ථය වටහා ගැනීමට හැකි වෙයි. නිරතුරුවම මිනිස් සිත් ආශාවන්, සහජ ගති, ප්‍රේමය, වෛරය, ආශාව වැනි සිතිවිලි රාශියකින් පිරී ඇත. සිතට නැග එන අප්‍රමාණ සිතිවිලි අතරින් අපට ප්‍රයෝජනයක් නැති, පීඩාකාරී සිතිවිලි වලින් මිඳීමට අවශ්‍යතාවයක් ඇති වෙයි. එවිට ඇතැම් දෙනා කරන්නේ කුමක්ද? ඇතැමුන් කලා නිර්මාණ වලට යොමු වෙති. ඇතැමුන් හුදු තාවකාලික විනෝදාශ්වාදයට යොමු වෙති. තවත් පිරිසක් මත් වතුර, මත් ද්‍රව්‍ය වලට යොමුවීමෙන් මානසික අසහනය තාවකාලිකව යටපත් කර ගැනීමට උත්සාහ කරති. එයට ද එහා යන ඇතැමුන් අසහනය දුරු කර ගනු පිණිස සිය දිවි නසා ගැනීමට පෙළඹෙති. එවැනි නිරර්ථක ක්‍රියා මාර්ගයන්ට යොමු විය යුතු නැත. හිතට සහනයක් ලබා ගැනීමට බෞද්ධ භාවනා ක්‍රම අතිශය වැදගත් වෙයි. එයින් සිතෙහි නිරෝගිතාවය මෙන්ම කයෙහි නිරෝගිතාවය ද ඇති කර ගත හැකිය. සියලු සත්හට නිර්වාණාබෝධය ඇති වේවා! තෙරුවන් සරණයි.

 බුදුසරණ අන්තර්ජාල කලාපය - නාලන්දේ විමලවංශ හිමි

Monday, January 13, 2014

භාවනාවට පෙර

ආනාපාන සති භාවනාව කරන්න සුදුසු ඉරියව්වකින් වාඩිවුනාට පස්‌සේ පිංවතුන් විශාල පිරිසකට තිබෙන ප්‍රශ්නයක්‌ තමයි ආශ්වාස ප්‍රශ්වාසයේ සිත නොපිහිටා භාහිර අරමුණක්‌ ඔස්‌සේ සිත දිවයැම. මෙතැනදී ඔබ නොසන්සුන් වෙන්න පුළුවන්. අලසවෙන්න පුළුවන්. භාවනාව කෙරෙහි උදාසීන වෙන්න පුළුවන්. මේ සියල්ල ඔබ තුළ සකස්‌වෙන්නේ පංච නීවරණ වශයෙන්. අරමුණු වේගයෙන් සකස්‌ වෙනවාය කියන්නේ, ඔබ තුළ ඇලීම් ගැටීම්වල ස්‌වභාවය වැඩිය කියන කාරණයයි.
මෙතැනදී ඔබ ඇලෙන්නේ හෝ ගැටෙන්නේ රූපයකට. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිත මාරයාය කියලා. එහෙම නම් ඔබ දක්‍ෂ වෙන්න ඕනේ තැනපත්භාවයෙන් තොර ඔබේ සිත මාරයා වශයෙන් දකින්න. දැන් මේ මාරයා තමයි ඔබට බාධා කරන්නේ, සිත සමාධිමත්භාවයට පත්වන්නට ඉඩ නොදී. මේ හඳුනාගැනීම ඔබ කළාට පස්‌සේ ආනාපානසති භාවනාවෙන් සිත බැහැර කරලා විවේකීව, වේගවත් සිතිවිලි දෙස බලා සිටින්න.
ඔබට ධර්ම මාර්ගයේ අවබෝධය කරා යැම වැළැක්‌වීමට මාරයා උපක්‍රමශීලී වෙනකොට ඔබ දක්‍ෂ වෙන්න ඕනේ මාරයාට වඩා උපක්‍රමශීලී වීමට. මාරයාට මාර ධර්මයෙන්ම විරුද්ධ දිශාවට යැමට මාර සිත රැවැට්‌ටීමට ඔබ දක්‍ෂ විය යුතුයි. විවේකීව වාඩිවෙලා වේගයෙන් අරමුණු ගලාගෙන එන සැටි බලා සිටින්න. ඒවායේ ඇතිවීමත්, වැනසීමත්, එම සිතිවිලි සකස්‌වෙන වේගවත්භාවයත් දකිමින් ඔබ ඔබට චෝදනා කරගන්න. ගැටෙන්න එපා. ඔබ තව තව ප්‍රබෝධමත්ව සිතිවිලි දෙස බලන්න. සිතිවිලි සකස්‌වීමේ වේගවත්භාවය කියන්නේ මාරයාගේ වේගය බව දකින්න. මේ වේගවත්භාවයේ වේගයට සමාන වේගයකින් මාරයාගේ ලෝකයේ නැවත උපතකට අවශ්‍ය සංස්‌කාර ධර්මයන් තමන් රැස්‌කොට ගන්නා බව දකින්න. ඔබේ සිතිවිලි ඇලීම්, ගැටීම් ඔස්‌සේ වේගවත් වෙනවාය කියන්නේ අනාගත දුක්‌ උදෙසා වේගවත්ව සංස්‌කාර රැස්‌කිරීම බව දකින්න. ඔබ මුලින්ම භාවනාවට වාඩි වුණේ ආනාපාන සති භාවනාව කරන්නයි. සිත තැන්පත් කරගන්න බැරිව ගියා. නමුත් ඔබේ දක්‍ෂභාවය නිසා දැන් කුමක්‌ද සිද්ධවෙන්නේ. ධම්මානුපස්‌සනාවයි, වේදනානුපස්‌සනාවයි, චිත්තානුපස්‌සනාවයි වැඩෙන්නේ.
ඔබ සිතේ සකස්‌වෙන ගොරහැඩි චංචල සිතිවිලි දෙස බලා සිටියදී එම සිතිවිලිවල චපල බව, රාගික බව, තෘෂ්ණාධික බව, මෛත්‍රීසහගත බව. මේවා දෙයාකාරයක සිතිවිලි. ඒවායේ ඇතිවීම, නැතිවීම දකිනකොට ඔබ තුළ වැඩෙන්නේ විදර්ශනාවයි. ඔබ විනිවිද දකිනවා, සිත විමර්ශනයට ලක්‌කරනවා. මෙහෙම තමයි ඔබ මාර ධර්මයන්ට පහරදිය යුත්තේ.
මුලින්ම ඔබ ආනාපාන සති භාවනාව කරන්න ගිහින් පංච නීවරණ නිසා එයට අවස්‌ථාව ලැබුණේ නැහැ. ඔබ දක්‍ෂ වුණා එම බාධකය වඩාත් ඉහළ ජයග්‍රහණයක්‌ කරා ඔසවා ගන්න. ඒ කියන්නේ විදර්ශනාවට සිත යොමුකරන්න. මේ දක්‍ෂභාවය ඔබ ලබන්න නම්, සිත කියන්නේ මාරයාය කියන කාරණය කමටහනක්‌ ලෙස ජීවිතයට එකතුකරගන්න ඕනේ. එහෙම එකතුකර ගතහොත් ඔබට පුළුවන් භාවනාවට එරෙහිව එන පංච නීවරණයන් ලෙහෙසියෙන් යටපත්කොට දමන්න.
ඔබ උදාහරණයක්‌ හැටියට හිතන්න, භාවනාව කියන්නේ ක්‍රීඩාවක්‌ය කියලා. ඔබේ ප්‍රතිවාදියා තමයි මාරයා. ප්‍රතිවාදියා නිරතුරුවම උපක්‍රම යොදන්නේ ඔබව පරාජයකොට, තමා ජයගන්න. මෙතැනදී ප්‍රතිවාදියා ඔබට එල්ල කරන උපක්‍රමය තමයි පංච නීවරණ. පංචනීවරණ වලින් මාරයා ඔබට දමා ගසද්දී, ඔබට තිබෙන්නේ සංසුන් ඉරියව්වෙන් මාරයාගේ ඉරියව් දෙස බලා සිටීම පමණයි. ඔබේ දැවීයැම ගැන ඔබ සිතන්න එපා. පරාජය ජයග්‍රහණය ගැන ඔබ සිතිය යුතු නැහැ. මොකද පරාජයත්, ජයග්‍රහණයත් යන දෙකම අනිත්‍යභාවයට පත්වන ධර්මතාවයන්. ඒවා අයිති මාරයාටයි. ඔබ මේ උත්සහ ගන්නේ ජය පරාජය දෙකින්ම මිදී අවබෝධයෙන් නිදහස ලබාගැනීමටය. අවබෝධයෙන් නිදහස්‌ වීම යනු ධර්මයේ අර්ථයයි.
ඔබ මේ ක්‍රමවේදය යොදාගනිමින් ආරක්‍ෂා වෙන තරමට, මාරායාට හතිවැටෙන බව ඔබ දැනගත යුතුය. පිංවත් ඔබ වේගවත්ව ඇතිවන අරමුණු දෙස, ඒවා ඇතිවීම, නැතිවීම දෙස බලා සිටින්න. මද සිනහ පහළකරමින් දකින්න. ප්‍රබෝධමත්ව දකින්න. මාර ධර්මයන් හේතුවෙන් මොහොතක්‌ හෝ කම්පා නොවන්න. පසුතැවිලි නොවන්න. කෙළෙස්‌ විඩාවට පත්කොට, තැන්පත් සිතක්‌ සකස්‌කොටගෙන නැවත අවශ්‍ය භාවනාවට යොමුවන්න.
මොනම හේතුවකින්වත් මෙය මෙසේ වියයුතුයි කියා දෘෂ්ටිගත වන්න එපා. කාලසටහන් සාදාගෙන භාවනාවට යොමුවෙන්න එපා. සියලු සංස්‌කාරයෝ අනිත්‍යයි කියමින්, දකිමින් භාවනාවට යොමුවන්න. පිංවත් ඔබ භාවනා කරන විට ඉදිරියට එන පංච නීවරණයන්ගේ ස්‌වභාවය මත ඔබේ ක්‍රමවේදයන් වෙනස්‌ කරගැනීමට දක්‍ෂ වෙන්න. එහෙම ක්‍රමවේදයන් වෙනස්‌ කරගැනීමට ඔබ අදක්‍ෂ වුවහොත් ඔබ තුළ ඇතිවන ගැටලුවලදී ඔබ ගැටෙනවා. එය හරිම අවාසනාවක්‌. ඔබ මේ ඇලීම හැටියටත්, ගැටීම හැටියටත් අත්දකින්නේ ධම්මානුලපස්‌සනාවයි. වේදනානුපස්‌සනාවයි. නමුත් ඔබ මේ උතුම් විදර්ශනා දැක්‌ම අතහැරලා, මගහැරලා ධර්මයත් සමග ගැටෙන දිශාවට යොමුවෙනවා. ධර්මය ඔබට ස්‌පර්ශ වෙන්නේ ගැටෙන්න නෙවෙයි. අවබෝධ කරගන්නයි.
මෙය සටහන් තබන භික්‍ෂුව ලැබූ යම් අවබෝධයක්‌ වෙත්නම්, ඒ අවබෝධයට මහෝපකාරී වූයේ සිතේ ඇතිවූ ඇලීම්, ගැටීම් ස්‌වභාවයන්ගේ තීව්‍රභාවයන්මය. මාරධර්මයන් නිසා භික්‍ෂුවගේ සිතේ ඇති වූ ඇලීමේ, ගැටීමේ ස්‌වභාවයන් දෙස ධර්මානුකූලව විදර්ශනා ඥානයෙන් බලමින් එම ඇලීම් ගැටීම් මගේ කර නොගෙන, ඒවායේ නිර්මාතෘවරයා දෙසටම එල්ල කිරීමට භික්‍ෂුව දක්‍ෂ විය .එම ක්‍රියාවලිය කොතෙක්‌ සුක්‍ෂම, දක්‍ෂ ආකාරයට භික්‍ෂුව කළාද කිවහොත් අවසානයේදී, මාරයාගේම ඇලීමේ ගැටීමේ ස්‌වභාවය තීව්‍රවී, මාරයා අමතක නොවන පාඩමක්‌ භික්‍ෂුව වෙතින් ඉගෙන ගත්තේය. ඔහු දැන් බියට පත්වී හමාරය. ඔහු බියට පත්කළේ ඔහුගේ ධර්මතාවයන් මගේ කර නොගෙන, ඔහුටම පෙරළා යෑවීම නිසාය. පෙරලා ගැසීම නොවේ. පෙරළා යෑවීම නිසය. පෙරලා ගැසීම යනු මාරයා සතුටුවන දෙයයි. මොකද එතැන ඇත්තේ ගැටීමයි, ව්‍යාපාදයයි. මාර ධර්මයන් පැමිණි විලසින්ම පෙරළා යෑවීම මාරයා ගැටෙන ස්‌වභාවයයි. මාරයා පීඩාවට පත්කරන ස්‌වභාවයයි.

Saturday, January 11, 2014

ලියන් දනිව් මීයන් සේ
මහණෙනි, කුණු වතුර ගලා බසින කානුවක් ළඟ බිලයක මීයෙක් වාසය කළේ ය. දිනක් බළලෙක් මේ මීයා අල්ලාගැනීමට සිතා කානුව ළඟ රැක සිට, බිලයෙන් මීයා එළියට එන විට ම ඌ අල්ලාගත්තේ ය; හනික ගිලදැම්මේ ය.
මීයා බළලාගේ බඩ තුළදී උගේ මහ බඩවැල්, කුඩා බඩවැල් සියල්ල සැපුවේ ය. බළලා ඉමහත් වේදනා විඳ අවසානයේදී මරුමුවට පත් විය.
මහණෙනි,
කාන්තාව ද මීයකු වැනි ය. අසංවර භික්ෂුව බළලෙකු මෙනි. ඇතැම් අසංවර භික්ෂුහු හැඩ වැඩ ඇති කාන්තාවන් දැක රාගය උපදවති; ඔවුන් ගැන කල්පනා කරමින් වේදනා විඳිති; අවසානයේ සිවුරු හැර යති. සිවුරු හැරයෑම මරණයට පත් වීම හා සමාන ය.
(සංයුක්ත නිකාය, බිළාල සූත්‍රය)
සරු කෙත
බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම්හිදී භික්ෂුන් ඇමතූ සේක: මහණෙනි,
කෙතක සරුසාර ව අස්වැන්න වැඩෙන්නේ කරුණු අටකින් යුක්ත වූ විට ය. කෙතෙහි බිම ගල්බොරලුවලින් තොර විය යුතු ය; කරමැටි නැති විය යුතු ය. වළ-ගොඩැලි නොමැති ව සම ව බිම සකස් විය යුතු ය. ගැඹුරට සී සෑ යුතු ය; ගලා එන දියමං පෑදිය යුතුවා සේ ම ගලා යන දියමං ද පෑදිය යුතු ය. වක්කඩවල් තැබිය යුතු ය. නියර බැඳ තිබිය යුතු ය. මේ කරුණු අටෙන් සමන්විත කෙත මනා කෙතකි. අස්වැන්න සරුසාරව වැඩේ.
මහණෙනි, මහණ බමුණෝ පින්කෙත් වැන්නා හ. අංග අටකින් සමන්විත කුඹුරෙහි වැපුරූ බීජයන්ගෙන් සරු අස්වැන්නක් ලැබෙන්නා සේ අංග අටකින් සමන්විත මහණ බමුණන්ට පිදෙන දානයෙන් මහත් ආනිශංසයක් ලැබේ. මහණ බමුණෝ සම්‍යක් දෘෂ්ටියෙන් ද, සම්‍යක් සංකල්පනාවෙන් ද, සම්‍යක් වචනයෙන් ද, සම්‍යක් කර්මාන්තයෙන් ද, සම්‍යක් ආජීවයෙන් ද, සම්‍යක් වෑයමෙන් ද, සම්‍යක් සතියෙන් ද, සම්‍යක් සමාධියෙන් ද යුක්ත විය යුත්තා හ. එබඳු මහණ බමුණන් වෙත පිරිනැමෙන දනින් මහත්ඵල මහානිශංස ලැබේ.
(සංයුක්ත නිකාය
Daham sabhawa

මෑණියෙනි, තවමත් සෙනෙහස නැති කරගන්නට නො හැකි වූවා ද?

4තෙරුවන් කෙරෙහි අපමණ පැහැදීමක් පැවැති ඇය පැවිදි වී කුසල් දහම් පුරන්නට කුඩා කලම ඉටා ගත්තාය. ඒ සඳහා දෙමාපියන් වෙතින් නොයෙක් වර අවසර පැතුවද ඔවුහු එය වැළැක් වූහ. එහෙත්, ධෛර්්‍යය සහ අධිෂ්ඨානය අත් නොහළ ඇය දෙමාපිය සිත් නොරිදා කවදා හෝ තමා විවාහ වූ දිනෙක සැමියා වෙතින් අවසර ලබා පැවිද්දට යන්නට ඉටා ගත්තාය.
රජගහනුවර සිටුමැඳුරක උපන් දියණියක් කුඩා කලම සැදැහැ බව වඩා ගනිමින් පිළිවෙත් පුරන්නට වූවා ය. තෙරුවන් කෙරෙහි අපමණ පැහැදීමක් පැවැති ඇය පැවිදි වී කුසල් දහම් පුරන්නට කුඩා කලම ඉටා ගත්තාය. ඒ සඳහා දෙමාපියන් වෙතින් නොයෙක් වර අවසර පැතුවද ඔවුහු එය වැළැක් වූහ. එහෙත්, ධෛර්ය සහ අධිෂ්ඨානය අත් නොහළ ඇය දෙමාපිය සිත් නොරිදා කවදා හෝ තමා විවාහ වූ දිනෙක සැමියා වෙතින් අවසර ලබා පැවිද්දට යන්නට ඉටා ගත්තාය. තරුණියක වූ ඇයට දෙමාපියන් විවාහ යෝජනා රැගෙන ආ අතර දෙමාපියන් සතුටු කරලීම උදෙසා යහපත් සැදැහැකාමී තරුණයෙකුගේ අත ගැනීමට ද ඇය තීරණය කළාය.
යහපත් සැමියෙකු සමඟ ටික කලක් යුග දිවි ගෙවූ ඇය කුඩා කල සිට පැවැති තම අපේක්‍ෂාව ඔහුට දැන්වූවාය. ඔහු ඒ සඳහා කැමැත්ත පළ කිරීම ඇයට මහත් සතුටක්, ඇති කළේය. එහෙත් ඒ වන විට ඇයගේ කුසෙහි දරු ගැබක් හටගෙන ඇති බව ඇය නොදත්තාය. තම ස්වාමි පුරුෂයා භික්‍ෂුණී ආරාමයක් වෙතට ඇය රැගෙන ගොස් ඇයගේ අපේක්‍ෂාව ඉටු කර දුන්නේය. එහෙත් ඇය පැවිද්ද ලබා ගන්නට ගොස් තිබුණේ දෙව්දත් තෙරුන්ගේ ශ්‍රාවක භික්‍ෂුණී ආරාමයක් වෙත බව ඇය නොදත්තා ය.
ඇයට පිළිසිඳගත් දරු ගැබ කල්යාමේදී මෝරා යද්දී අනෙක් භික්‍ෂුණීන් වහන්සේලා ඇයගෙන් මේ පිළිබඳව විමසන්නට වූහ. එවිට ඇය ප්‍රකාශ කළේ ඒ පිළිබඳ තමා නො දන්නා බවත් තමාගේ පැවිදි ශීලයට කිසිඳු හානියක් නොවූ බව යි.
එය පිළි නොගත් භික්‍ෂුණීන් වහන්සේලා ඇය දෙව්දත් තෙරුන් වෙත ඉදිරිපත් කළහ. දෙව්දත් තෙරුන් කියා සිටියේ මෙය තමන්ගේ ශාසනයේ භික්‍ෂුණීන්ට විශාල අපහාසයක් බැවින් මැය උපැවිදි කොට ආරාමයෙන් නෙරපා හරින ලෙස යි. තමා නො නසන්නැයි ඇය ආයාචනා කළද, එයින් ප්‍රතිඵලයක් නො ලද විට ඇය බුදුරදුන් වෙත පැමිණියාය.
ඇයගේ දරු ගැබ ගිහිව සිටියදී ඇති වූ බව දැන ගත් බුදු හිමියෝ එහෙත් ඇය චෝදනාවෙන් මුදාලීම පිණිස රාජකීය කොමිසමක් පත් කර මේ ගැන සොයා බලන්නට නියම කළහ. කොසොල් රජතුමා ද, අනාථ පිණ්ඩික සිටුතුමා ද, විශාඛා උපාසිකාව ද කැඳවා මේ ප්‍රශ්නය විමසන ලෙසත් එය සම්බන්ධීකරණය කරලීම සඳහා උපාලි තෙරුන් වහන්සේත් පත් කර වදාළහ.
සිව්වනක් පිරිස මධ්‍යයෙහි මේ පරීක්‍ෂණ කණ්ඩායම ඉදිරියට මෙම තෙරණිය කැඳවූ අතර, වටතිර ඇද විශාඛාව විසින් ඇයගේ සියලු ශරීර ලක්‍ෂණ පරීක්‍ෂා කර එම ගර්භයට ගත වූ කාලය තීරණය කෙරිණි. ඒ අනුව එම දරු ගැබ ඇය පැවිදි වීමට පෙර සිදු වූවක් බව තීරණය කළහ. මෙම අධිකරණය විනිශ්චය කළ උපාලි තෙරණුවෝ ඇයගේ නිරවද්‍ය බව පිරිස මධ්‍යයේ ප්‍රකාශයට පත් කළහ. ඇයගේ පිවිතුරු බව එයින් සුරැකුණි. අනතුරුව භික්‍ෂුණී අරමේදී ඇය ආනුභාව සම්පන්න දරුවෙකු ප්‍රසූත කළාය.
එක් දිනක් කොසොල් රජු එම ආරාමය අසලින් ගමන්කරන අතරෙහි කුඩා දරුවෙකු හඬන හඬ ඇසී මේ කුමක්දැයි විමසා භික්‍ෂුණිය දරුවෙකු ප්‍රසූත කළ බව දැන භික්‍ෂුණී ආරාමයක දරුවෙකු පෝෂණය කිරීමේ අපහසු බව දැන එම කුමාරයා රජ මැඳුරට ගෙන්වා කිරිමව්වරුන්ට පවරා ඇති දැඩි කළේය. නම් තබන දා කස්සප යැයි නම තබා රජ මැදුරේ වැඩෙන හෙයින් කුමාර කාශ්‍යප ලෙසද ප්‍රසිද්ධ විය.
මේ කුමරා අනෙක් කුමාරවරුන් සමඟ ක්‍රීඩාවෙහි යෙදෙන විට,අම්මෙක්, තාත්තෙක් නැති එකකැයි මේ කුමරාට අනෙක් අය උසුළු විසුළු කළහ. එයින් සිත් රිදවා ගත් කුමාරයා රජතුමන් හමුවට ගොස් තම මව්පියන් කවරෙකුදැයි විමසා සිටියේය.
නොයෙක් දෑ කියා අවසන පිළිනොගත් විට ඔබේ මව භික්‍ෂුණිය කැයි ද, ආරාමයෙන් රැගෙන ආ බව කියා සිටියේ ය. පුරාකෘත පුණ්‍ය මහිමයෙන් සපිරි මේ කුමරුවා එයින් ම සංවේගයට පත්ව තමාද පැවිදි කරවන්නැ’යි ඉල්ලා සිටියේය.
අනතුරුව රජතුමා බුදුරදුන් වෙත රැගෙන ගිය කුමරා බුදුරදුන් හමුවෙහි පැවිදි බවට පත් කළේය. ඉන් පසු කුමාර කාශ්‍යප තෙරුන් ලෙස ප්‍රචලිතව බුදුරදුන් වෙතින් කමටහන් ලබා විදසුන් වඩා රහත් බවට පත් වීය.
මව් භික්‍ෂුණිය කුමාර කාශ්‍යප මාතා ලෙසින් ද ප්‍රසිද්ධියට පත් වූ අතර දරුවා තමන් වෙතින් වෙන් කළ දා සිට ඇය දරු සෙනෙහසින් කදුළු වගුරුවමින් ම කාලය ගත කළාය. දිනක් ඇය පිඬුසිඟා වඩින විට කුමාර කාශ්‍යප තෙරුන්ද පිඩුසිඟා වඩිනු දැක හැඳින පුත, පුත යැයි අමතමින් දිව එද්දී පය පැටලී බිම ඇද වැටුණාය. දරු පෙමින් ඇයගේ පියයුරෙන් කිරි ද දෑසින් කඳුළු ද ගලා ගියේය. නැවත නැගිට සිවුරද අතින් අල්ලා දුව ගොස් තෙරුන්ගේ අතින් අල්වා ගත්තාය.
එවිට, තෙරුන් වහන්සේ ,මෑණියෙනි, තවමත් ස්නේහය නැති කර ගන්නට නො හැකි වූවා ද? යනුවෙන් විමසූහ. දෙවෙනි,තෙවෙනි වරද එසේ ඇසූ විට දොළොස් වසක් දරු සෙනෙහසින්ම හැඬුයෙමි. එහෙත් මපුතු ඒ සෙනෙහස දුරු කර තිබෙයි. මා තවදුරටත් හඬන්නේ ඇයි දැයි සිතන්නට වූවාය.
එසේ සිතද්දීම ඇයගේ දරු සෙනෙහසේ බැඳීම් සියල්ල පහව ගියෙන් පුත්‍ර පේ‍්‍රමය සිඳ බිඳ දමා උතුම් රහත් බවට පත් වූවාය.
සෙනෙහස වඩන්නා සෝ දුක් උරුම කර ගනී. එය සිඳ බිඳ දමන්නා ලොව කදුළෙන් මිදේ. කුමාර කාශ්‍යප මාතාවගේ කථාව අකාලයේ දරුවන් වියෝවෙන් හඬන මා පියවරුන්ට කදිම උපදේශයක් සම්පාදනය කරයි

දහම් සභාව