Tuesday, February 11, 2014

ඒ උතුම් අසිරිමත් මිනිසා

සකුළුදායි අපේ බුදුහාමුදුරුවන් රජගහ නුවර වැඩ සිටින කාලයේ රජගහ නුවර මහත් පිරිසක් පිරිවර කරගෙන සමාජයේ බැබළෙමින් සිටි සුප්‍රසිද්ධ ප්‍රබල පරිබ්‍රාජකයෙකි. දිනක් අපේ බුදුහාමුදුරුවන් උදෑසනම රජගහ නුවරට පිණ්ඩපාතයේ වඩිද්දී අතරමගදී පිණ්ඩපාතයට තවම වේලාසන වැඩි නිසා සකුළුදායිගේ ආරාමයට වැඩම කළා.
එහි වඩිද්දී සකුළුදායිගේ ගෝල පිරිස මහත් කෝලාහලයක් කරගන්නාක් මෙන් කෑකෝගසමින් ගුණදහම් සුරකින අයට නුසුදුසු වූ දෙතිස් කතාවලින් යුතුව තමයි හිටියේ. බුදුරජාණන් වහන්සේ වඩිනවා දැකලා සකුළුදායි ඒ අයගේ ඒ ගාලගෝට්ටිය නතර කරන්න “නිශ්ශබ්ද වෙන්න, නිශ්ශබ්ද වෙන්න” කියලා කෑගහලා කීවා. තවදුරටත් කීවා “නිශ්ශබ්දව හිටියොත් සමහර විට සමණ ගෞතමයොත් අප ළඟට ඒවි” කියාලා.
ඉතින් සකුළුදායි අපේ බුදුහාමුදුරුවන් දැකලා “වඩින්න වඩින්න” කියලා ආසනයක් පනවා දුන්නා. ඒ ආසනයේ වැඩ සිටි අපේ බුදුහාමුදුරුවන් සකුළුදායිගෙන් ඇසුවා “මොකක් ගැන ද ඔය පිරිස දැන් කථා කර කර උන්නේ? සමහර විට ඒ කථාවටත් බාධාවක් වෙන්න ඇති නේද?” කියලා. ඉතින් “ඒ කතාව ඒ තරම් වැදගත් එකක් නෙවෙයි, ඒව ඉතින් පස්සෙත් අහන්න පුළුවනි” කියලා, සකුළුදායි කියනවා මෙහෙම: “මේ ළඟදී දවසක් සංවාද ශාලාවට එකතු වෙච්ච විවිධ ආගමික ශ්‍රමණ හා බ්‍රාහ්මණ කණ්ඩායම් අතර විශේෂ කතාවක් ඇතිවුණා මේ අංග-මගධ ජනපදවල ඉන්න අයට විශාල ලාභයක් තියෙනවා කියලා.
ඒ මොකක්ද? මේ අංග-මගධ ජනපදවල විශාල සඟ පිරිස් පිරිවර කරගත්ත ශ්‍රේෂ්ඨ ශාස්තෘවරු කීපදෙනෙක්ම දැන් වැඩ ඉන්නවා. ඒ කියන්නේ පූරණ කස්සප, මක්ඛලී ගෝසාල, පකුධ කච්චායන, අජිත කේසකම්බල, සංජය බෙලට්ඨීපුත්ත, නිගණ්ඨනාථ පුත්ත සහ ශ්‍රමණ භවත් ගෞතම යන මේ අයයි. ඊ ළඟට ඒ අය කතා කළා ඒ ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ගෝල පිරිස් ඒ අයට සලකන හැටි, ගරු කරන හැටි. ඉතින් ඒ අය අතුරින් ඒ හැම දෙනාගේම ප්‍රශංසාව හිමි වුණේ ශ්‍රමණ ගෞතමයන්ගේ ගෝලයන් ශ්‍රමණ ගෞතමයන්ට සලකන, ගරු කරන ආකාරය ගැනයි.”
මේ අවස්ථාවේ අපේ බුදුහාමුදුරුවන් සකුළුදායිගෙන් ඇහුවා “සකුළුදායි ඔබ හිතන හැටියට ඒ ආකාරයෙන් සැලකීමට හේතුව මොකක්ද?” කියලා. සකුළුදායි කියනවා “ඒ කරුණු පහක් නිසයි” කියලා. සකුළුදායි කියන හැටියට අපේ බුදු රජාණන් වහන්සේට උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස සලකන්නේ ගරු කරන්නේ මේ කරුණු පහ නිසා යි:
1. බුදු රජාණන් වහන්සේ ඉතාම ටිකක් වළඳන නිසා
2. බුදු රජාණන් වහන්සේ සරල සිවුරු පරිහරණය කරන නිසා සහ එය අගය කරන නිසා
3. බුදු රජාණන් වහන්සේ සරල ආහාරයකින් හෝ සතුටු වන නිසා සහ එය අගය කරන නිසා
4. බුදු රජාණන් වහන්සේ වනසෙනසුන්වල වාසය කරන නිසා සහ එය අගය කරන නිසා
5. බුදු රජාණන් වහන්සේ හුදෙකලාව සුව සේ වාසය කරමින් එය අගය කරන නිසා
ඉතින් අපේ බුදුහාමුදුරුවන් කරුණු සහිතව සකුළුදායිට පෙන්වා දුන්නා මේ එකම කාරණයක් නිසාවත් නොවෙයි තමන්වහන්සේගේ ශ්‍රාවක පිරිස තමන් වහන්සේට සලකන්නේ කියලා. එහිදී අපේ බුදුහාමුදුරුවෝත් කරුණු පහක් දේශනා කළා මොන මොන හේතූන් නිසාද තමන්වහන්සේගේ ශ්‍රාවක පිරිස තමන්වහන්සේට සලකන්නේ කියලා. අපේ බුදුහාමුදුරුවන් ඔහුට දේශනා කළ පරිදි උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස උන් වහන්සේට සලකන්නේ ගරු කරන්නේ මෙන්න මේ කරුණු පහ නිසා යි:
1. බුදු රජාණන් වහන්සේගේ අධිශීලය නිසා
2. බුදු රජාණන් වහන්සේගේ ඥාන දර්ශනය නිසා
3. බුදු රජාණන් වහන්සේගේ අධිප්‍රඥාව නිසා
4. බුදු රජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කර මැනවින් පහදා දෙන නිසා
5. බුදු රජාණන් වහන්සේ කුශල ධර්මයන් වඩන ආකාරය කියාදෙන නිසා
මේ කුශල ධර්ම ප්‍රගුණ කරන ආකාරය ද අපට අපේ බුදුහාමුදුරුවන් කියා දුන්නා. එසේ අපට කියා දුන්නේ:
1. සතර සතිපට්ඨාන ධර්මයන් ප්‍රගුණ කරන ආකාරය
2. සතර සම්‍යක් ප්‍රධාන වීර්යයන් ප්‍රගුණ කරන ආකාරය
3. සතර ඉද්ධිපාදයන් ප්‍රගුණ කරන ආකාරය
4. පඤ්ච ඉන්ද්‍රිය ධර්මයන් ප්‍රගුණ කරන ආකාරය
5. පඤ්ච බල ධර්මයන් ප්‍රගුණ කරන ආකාරය
6. සත්ත බොජ්ඣංග ධර්මයන් ප්‍රගුණ කරන ආකාරය
7. ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කරන ආකාරය
8. අෂ්ට විමෝක්‍ෂ ධර්මයන් ප්‍රගුණ කරන ආකාරය
9. අෂ්ට අභිභායතන ප්‍රගුණ කරන ආකාරය
10. දස කසින ප්‍රගුණ කරන ආකාරය
11. සතර ධ්‍යානවලට පත් වන ආකාරය
12. විදර්ශනා ඥානය උපදවාගන්නා ආකාරය
13. මනෝමය කයක් උපදවාගන්නා ආකාරය
14. ඉද්ධිප්‍රාතිහාර්ය පාන ආකාරය
15. දිබ්බ සෝතය හෙවත් දිව කන ඇති කරගන්නා ආකාරය
16. අන් අයගේ සිත් දැනගන්නා ආකාරය
17. පෙර භවයන් පිළිබඳව දැනගන්නා නුවණ ඇති කරගන්නා ආකාරය
18. දිවැස් හෙවත් සත්ත්වයන් මෙලොවින් චුත වන ආකාරය හා වෙනත් ලෝකවල ඉපදෙන ආකාරය දැකීමේ ඥානය උපදවාගන්නා ආකාරය
19. සියලු ආශ්‍රව ධර්මයන් නැති කරදමා නිවන් සුව පසක් කරගන්නා ආශ්‍රවක්‍ඛය ඥානය උපදවාගන්නා ආකාරය යන මේවා ය.
මෙසේ බුදුපියාණන් සකුළුදායි හට මෙම කරුණු දේශනා කර අවසන් වෙද්දී සකුළුදායි ඉමහත් සතුටට සන්තෝෂයට පත් වුණා.
DAhamhansabawa

No comments:

Post a Comment