Saturday, January 18, 2014

මරණයෙන් කෙළවර වන අනියත ජීවිතය

Posted on October 31, 2013 by dahamsabava

වධක පච්චුඨානතො (වධකයකු හිස ගසන්නට එළැඹී සිටියා සේ මරණය ද වහා පැමිණේයැ’යි සිහිකිරීම) හා සම්පත්ති විපත්තිතො (කවර සම්පත්තියක් වුවත් විපත්තියෙන් කෙළවර වන්නේ ය. ජීවිතය ද මරණයත් සමඟ විනාශ වන්නේයැ’යි සිහිකිරීම)

මෙලොව උපත කරා එන සත්වයා තනිවම පැමිණෙන්නේ ය. ගෙන එන ධනයක් නැත. පරලොවද තනිවම යන්නේ ය. වස්තු භෝග ද අතැර දමා කර්මානුරූපව සසරට වැටී නැවත නැවත දුක් විඳිමින් මරණය කරාම පැමිණෙයි. උපන් සත්වයාගේ ස්වභාව වන්නේ කා බී සතුටින්, වස්තුව, ධනය රැස්කරමින් සැප සේ සැම දා ජීවත්වීමේ කැමැත්තයි. එහෙත් කැමැත්ත පරිදි කිසිවක් ලොව ස්ථිරව නොපැවැත්ම පරම සත්‍යය වේ. එනම් අනිත්‍යතාව ලොවෙහි යථාර්ථයයි. ඒ බව වටහා නොගැනීම අනුවණකමකි.

පුත්තාමත්ථි ධනම්මත්ථි
ඉති බාලො විහඤ්ඤති
අත්තාහි අත්තනො නත්ථි
කුතො පුත්තා කුතො ධනං
(ධම්මපදය – බාල වග්ගය)

මාගේ දරුවන් බොහෝ ඇත. මා හට ධනයද ඇත. එසේ සිතා තව තවත් ධනය රැස් කිරීමට දිවා රාත්‍රී වෙහෙසෙයි. (දරුවන් සහ ධනය කෙරෙහි මහත් වූ ආශාවෙන් ගිජුව කල් ගෙවයි.) තමාට තමාවත් නැතිකොට දරුවන් කොයින්ද? ධනය කොයින්ද? සියල්ල තාවකාලික වන්නේ ය. ස්ථිර නොවන්නේ ය.

හෙළන සුසුමක් පාසා සත්වයාගේ ආයු ගෙවී යන්නේ ය. මෙසේ වරුවෙන්, දිනයෙන්, සතියෙන්, වසරෙන් පරමායුෂ ගෙවී යන්නේ ය. ජරා ව්‍යාධියෙන් අනතුරුව බොහෝ දුක් විඳින්නේ ය. උපත සමඟ මරණය දක්වා යන සත්වයාට ස්ථිර වූ සැපයක් නැත්තේමය. සියලු ලෝකයාම මෙම විපරිණාමයට මුහුණ දිය යුතු වන්නේ ය. ලොව යථා ස්වභාව පහත සඳහන් කරුණුවලින් මනාව තේරුම් කර ගත හැකි ය.

* “හා යොබ්බනා ජරා අන්තා”

(අහෝ ! හැම තරුණකමක්ම ජරාව කෙළවර කොට ඇත.)

*“හා විනාසන්තා මහද්ධනා”

(අහෝ ! හැම ධන සම්පතක්ම විනාශය කෙළවර කොට ඇත)

* “හා සංයෝගා වියොගන්තා”

(අහෝ ! හැම එක්වීමක්ම වෙන්වීම කෙළවර කොට ඇත.)

* “හා මතන්තා සජීවකා”

(අහෝ ! හැම ජීවිතයක්ම මරණය කෙළවර කොට ඇත.)

* “හා ආලයා සොකන්තා”

(අහෝ ! හැම ප්‍රේමයක්ම ශෝකය කෙළවර කොට ඇත.)

* “හා ථොමනා විනිනදන්තා”

(අහෝ ! හැම ස්තුතියක්ම නින්දාව කෙළවර කොට ඇත.)

* “හා සුඛා සබ්බ සො දුක්ඛා”

(අහෝ ! හැම සැපතක්ම හැම අතින් ම දුක් කෙළවර කොට ඇත.)

මෙම විපරිණාම ධර්ම මෙනෙහි කරමින් මරණ සතිය වඩන අනෙක් ක්‍රම වටහා ගනිමු. එවිට ජීවිත මදයෙන් මත්වෙන අකුසල් දහම්වලින් වැළැකී ජීවිතයේ අස්ථිර භාවය හොඳින් තේරුම් ගෙන නිවන පරම කොට වැඩීමේ කුසල ඡන්දය මතු කර ගැනීමට ශක්තිය වීර්යය තමා තුළින් ප්‍රකට කර ගැනීමට හැකියාව සැලසේ.

1. උපසංහරණතො

මහත් යස පරිවාරයෙන් යුතු පුණ්‍ය මහිමයෙන් යුතු අය ද මරණයට පත් වූහ. එසේ මරණය මා හට ද ක්ෂණ මාත්‍රයෙන් පැමිණේ යැයි සිහිකිරීම උපසංහරණය නම් වේ.

* යස පරිවාරයෙන් යුතු රජ, මැති, සිටුවරුන් ආදී කොටැති මහා බලවතුන්ද මරණයට පත් විය. අල්ප යසස් ඇති මාගේ ජීවිතය ඒකාන්තයෙන් මරණයට යන්නේ ය. ජීවිතය අනියතයි, මරණය නියතයි යනුවෙන් නිතර සිහිපත් කළ යුතු ය.

* මහත් වූ පුණ්‍ය ශක්තියෙන් යුතු අනාථ පිණ්ඩික සිටුතුමා, විශාඛා මහා උපාසිකාව ඇතුළු පුණ්‍යවන්තයෝ ද මරණයට පත්වූහ. අල්ප පුණ්‍ය ශක්තියක් ඇති මාගේ ජීවිතය ද ඒකාන්ත කොට මරණයට පත්වන්නේ ය. ජීවිතය අනියතයි, මරණය නියතයි යනුවෙන් නිරන්තරයෙන් සිහිපත් කළ යුතු ය.

* කාය ශක්තියෙන් හෙබි දස මහා යෝධයෝ ද, කාය ශක්තියෙන් පිරිහි මරණයට පත් වූහ. කාය බලය හීන වූ මාගේ ජීවිතය ද ඒකාන්ත කොට මරණයට පැමිණෙන්නේ ය. ජීවිතය අනියතයි, මරණය නියතයි යනුවෙන් නිරතුරු සිහිපත් කළ යුතු ය.

* බුදු, පසේ බුදු මහරහතන් වහන්සේගේ ජීවිතය ද මරණයට පත් විය. මා හට ද මරණය ඒකාන්ත කොට ඇත. ජීවිතය අනියතයි. මරණය නියතයි යනුවෙන් සිහි කටයුතු යි.

* සෘද්ධිමත් වූ දීර්ඝායුෂ වූ දෙවි බඹුන්ගේ ජීවිතය ද මරණයට පත්විය. අල්ප ආයුෂ ඇති මාගේ ජීවිතය ද ඒකාන්ත කොට මරණයට පත්වන්නේ ය. ජීවිතය අනියතයි, මරණය නියතයි යැයි නිරතුරු සිහිපත් කළ යුතු ය.

2. කාය බහු සාධාරණතො

ස්වකීය ශරීර කූඩුව බොහෝ සත්වයන්ට සාධාරණ බව (අසූ කුලයක් පණුවන් ආදී විවිධ සතුන්ගේ ගොදුරක් බව) සලකා මරණසතිය වැඩීම කාය බහුසාධාරණය වන්නේ වේ.

* මෙම කයෙහි සිවිය, සම, මස්, නහර, ඇට සහ ඇට මිදුළු ඇසුරු කරමින් අසූ කුලයක පණුවන් සාරය උරාබොමින් වාසය කරන්නේ ය. ප්‍රාණීන්ට සාධාරණ වන්නේය. ඔවුන්ගේ කිපීමෙන් මරණය ඒකාන්ත කොට පැමිණෙන්නේ ය. ජීවිතය අනිත්‍යයි, මරණය නියතයි යනුවෙන් නිතර සිහි කළ යුතු ය.

* දෙතිස් කුණප කොට්ඨාසයෙන් පිරුණා වූ ශරීරය තුළ කුමන හෝ ස්ථානයක සුව කළ නොහැකි රෝගයක් හටගෙන මරණයට පත්වන්නට සිදුවේ. එම නිසා මෙම ශරීරය විවිධ වූ රෝගයන්ට සාධාරණ බව සලකා මරණ සතිය වැඩිය යුතු ය. ජීවිතය අනිත්‍යයි, මරණය නියතයි යනුවෙන් සිහිපත් කළ යුතු ය.

* මේ කය මැසි, මදුරුවන්, උකුණන් හට ද පත්තෑ, කුණකටු, නයි පොළොං ආදී ඝෝරවිෂ ඇති සර්ප කුලයන්ටද සුනඛ, සිංහ, වලස්, කොටි, ව්‍යාඝ්‍ර, අලි, ගව ආදී සතුන්ටද මනුෂ්‍ය, අමනුෂ්‍ය ආදී අනේකවිධ සත්වයන්ට ද සාධාරණ වන්නේ ය. ජීවිතය අනියතයි, මරණය නියතයි යනුවෙන් නිරන්තරයෙන් මෙනෙහි කටයුතු ය.

* වැසි, සුළං, නාය යෑම්, සුනාමි, ගංවතුර, වස, විෂ, ගිනි, බෝම්බ, විදුලි සැර වැදීම්, කඩු, කිනිසි, පොලු පහර, අකුණුසැර වැදීම් ආදී බාහිර උපද්‍රවයන්ට ද මේ කය සාධාරණ බැවින් මරණය ඕනෑම මොහොතක සිදුවිය හැකි වන්නේ ය. ජීවිතය අනිත්‍යයි, මරණය නියතයි යනුවෙන් සිහිපත් කළ යුතු ය.

* මුහුද, ගංගා, ඇළ දොළ, ඇසුරු කරගෙන ජීවත්වෙන කිඹුලන්, තල් මසුන්, මෝරුන්, ආදී සතුන්ටද සාධාරණ වුණු මරණය ඒකාන්ත කොට ඇත්තේ ය. ජීවිතය අනිත්‍යය, මරණය නියතයි යනුවෙන් සිහිපත් කළ යුතු ය.

3. ආයු දුබ්බලතො

ආයුෂ නොඑසේ නම් පණ නම් ඉතා දුබල බව සිතා මරණ සතිය වැඩීම ආයු දුබ්බලතාව නම් වේ. ආහාර පාන, සෘතු, උෂ්ණය, ආශ්වාස ප්‍රාශ්වාස ආධාරයෙන් ජීවිතය පවතින්නේ ය. මේවායේ කිපීමෙන් මරණය වන්නේ යැයි නිරතුරු සිහිපත් කළ යුතු ය.

අභ්‍යන්තර වායෝ ධාතුව (කුස තුළ, බඩවැල් ඇතුළත, ශරීරය පුරා දිවයන වායුව, උඩ අතට දිවයන වායුව, පහළට දිවයන වායුව, ආශ්වාස ප්‍රාශ්වාස වාතය) සමතුලිත නොවීමෙන්, කිපීමෙන්, මරණය ක්ෂණයකින් පැමිණෙන්නේ ය.

* සීත උෂ්ණ දෙක කිපීම උත්සන්නවීමෙන් මරණය වන්නේ ය.

* සතර මහා භූතයන්ගේ (පඨවි, ආපෝ, තේජෝ, වායෝ) විෂමභාවයට පත්වීමෙන් මරණය සිදුවන්නේ ය.

* යන, එන, සිටින, හිඳින, නැමෙන, දිගහැරෙන, වකුටුවෙන, නිදන ඉරියව්වක වෙනස් වීමෙන්, වැටීමෙන්, ලිස්සායෑමෙන්, පෙරැළීමෙන්, අත් පා සිඳීම් ආදියෙන් මරණය පැමිණෙන්නේ ය. මේ ආකාරයෙන් මෙනෙහි කරමින් මරණ සතිය භාවිතයෙන් බහුලකොට වැඩිය යුතු ය.

4. අනිමිත්තතො

සත්වයාගේ ජීවිතය කොපමණ කලක් පවතීද, කුමන රෝගයකින් මරණය වන්නේ ද, කාලය කෙසේ වන්නේද, මෘත දේහය කවර ස්ථානයක යට කරයි ද, මරණින් මතු උපදින තැන සුගති දුගති වශයෙන් කෙසේවේදැයි ස්ථිර වශයෙන් නියමක් නැති බැවින් ‘අනිමිත්ත’ යැයි සලකා මරණය ඒකාන්ත කොට පැමිණෙන්නේ යැයි මරණසතිය වැඩිය යුතු ය.

5. අද්ධාන පරිච්ඡෙදතො

මිනිසුන්ගේ ජීවිතය මෙතෙක් කල් පැවැතිය යුතු යැයි නිශ්චිත කාලසීමාවක් පැණවිය නොහැකිය. මරණය කවර වයස් පරතරයක් ඇතුළත පැමිණිය හැකි දැයි ස්ථිර කළ නොහැකිය. එසේ සලකා ජීවිතය අනියතයි, මරණය නියතයි, ඒකාන්ත කොට මරණය පැමිණේයැයි සිහි කළයුතු ය.

* හිඳගෙන සිටින විට මරණය පැමිණෙයි.

* සිටගෙන සිටින විට මරණය පැමිණෙයි.

* යන එන විට මරණය පැමිණෙයි.

*නින්දේදි ම මරණය කරා පැමිණෙයි.

* ආහාර පානාදිය ගන්නා විට මරණය පැමිණෙයි.

* අඳින පළඳින හැඩවෙන මොහොතකදි මරණය පැමිණෙන්නේ ය.

* හඬන, වැළැපෙන, සිනාසෙන සතුටුවෙන අවස්ථාවකදී මරණය පැමිණේ.

මේ ආකාරයෙන් සලකා මරණ සතිය නිරන්තරයෙන් වැඩිය යුතු ය.

6. ඛණ පරිත්තතො

පරමාර්ථ වශයෙන් සත්වයන්ගේ ජීවිත කාලය ක්ෂණයකි. ඉතා ස්වල්ප වන්නේ ය.ඒ බව නිතර සිහිපත් කළ යුතු ය.

* අතීතයට ගිය චිත්තක්ෂණයෙහි පැවැතියා වූ ජීවිතය වර්තමාන චිත්තක්ෂණයට නොපැමිණ මරණය සිදුවන්නේ ය.

* වර්තමාන චිත්තක්‍ෂණයෙහි පවත්නාවූ ජීවිතය අනාගත චිත්තක්ෂණයට නොපැමිණ මරණය සිදුවන්නේ ය.

* අනාගත චිත්තක්‍ෂණයෙහි පවත්නා වූ ජීවිතය නැවත අනාගත චිත්තක්‍ෂණයට නොපැමිණ මරණය වන්නේ ය.

ජීවිතය අනියතයි, මරණය නියතයි යනුවෙන් නිතර සිහිපත් කළ යුතු ය.

මෙසේ මරණය සිහිපත් කිරීම අප්‍රමාදයට හේතු වන්නේ ය. සිතේ හටගන්නා අකුසල් ප්‍රහාණය කිරීමට වීර්යය ඇතිවන්නේ ය. රැස්කිරීම් බලාපොරොත්තු අඩු කළ හැකි වන්නේ ය. ජීවිතමදය නැතිවන්නේ ය. සිතෙහි පීඩා කරදර වියැකී යන්නේ ය.මරණ බිය නැති වන්නේ ය. ජීවිතයේ අර්ථය සැලැසෙන්නේ ය

දහම් සභාව

තණ අග රැඳි පිනි බිඳ බඳු අනියත ජීවිතය

life-after-death-1ජීවිතයේ අස්ථිර බව හොඳින් වටහා ගන්න. මරණය ස්ථිර බැවින් මරණසතිය මැනැවින් වඩන්න.
මරණානුස්සති භාවනාව පිළිබඳ ලෝකයාට මැනැවින් කරුණු කාරණා දේශනා කරනු ලබන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසිනි. එහි යම් අඩුවක් හෝ දෝෂයක් හෝ ඇතැයි කිසිවකුට තර්කයක් හෝ වාදයක් කළ නොහැකිය. එසේ සිතන්නේ නම් එය ඔවුන්ට දිගුකලක් අහිත පිණිස, දුක් පිණිස පවතින්නේ ය.
සිතේ ස්වභාව වන්නේ සසරට ඇදී යෑමයි. චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා (අවිද්‍යාව) කර්ම රැස් කරයි. රැස් කරන තාක් ඉපදීම හා මරණය පැමිණෙයි. එය නොවේවායි පැතුවාට සිදු නොවේ. ජරාමරණයන්ගෙන් නිදහස් වන මාවත මැදුම් මාවතයි. එම මාර්ගයෙන්, අන්තදෙකට වැටෙන සිත මැනැවින් කළමනාකරණය කරගෙන ස්වයං භූ ඥානයෙන් සියල්ල අවබෝධ කරගත් ලොව්තුරා බුදුන්වහන්සේ කරුණා අභ්‍යාසයෙන් යුතුව, ලෝකයාට මැදුම්මාවත විමුක්තියට ඒකායන මාර්ගය බව දේශනා කළ සේක. සතිපට්ඨානය වැඩීම සියලු දුකින් මිදීමටත්, සැනසිල්ලට හා නිවීමටත් උපකාර වන්නේ යැයි විභජනය කොට (බෙදාහරිමින්) විවෘත කර දේශනා කොට වදාළ සේක.
කර්ම රැස් කර ඉපැදී මියයන සත්වයාගේ පසුපස එන අකුසල කර්ම විපාකදීම, කුසල කර්ම විපාක දීම, සතර අපාදි දුක්ඛයට වැටී තීව්‍ර කටුක දුක් විඳින කාල සීමාව, නැවත සුගතියට එන හේතු සාධක, සුගතියෙන් දුගතියට නැවත වැටෙන ආකාරය පිළිබඳ සත්‍ය වශයෙන් කිවහැක්කේ තථාගතයන් වහන්සේට පමණක් බව මහා කම්ම විභංග සූත්‍රයෙන් මනාව හෙළි දරව් වේ.
දිනක් අලව් නුවරට වැඩම කළ බුදුන් වහන්සේ (නුවර වැසියන්ගේ ආරාධනා පරිදි) දනව් වැසියන් විසින් පිරිනමන ලද දානය පිළිගෙන වැළැඳීමෙන් අනතුරුව මහා පිරිසට මරණ සතිය වැඩීමේ අනුසස් වදාළ සේක. ඒ දහම් ඇසූ බොහෝ දෙනා තම නිවෙස්වලට ගොස් දෛනික කටයුතුවල නිරත වූහ. එම දේශනාවට මැනැවින් දෙසවන් යොමු කළ සොළොස් හැවිරිදි එක් පේෂකාර දියණියක් පැහැදී මෙසේ සිතුවා ය.
අහෝ ! බුදුරජුන් වදාළ දේශනාව ඉතා මනරම්ය. අගනේ ය. සියලු දෙනාට යහපත, සැනසීම උදාකරදෙන්නේ ය. මෙම දහම පිළිපදින යම්කෙනකු ඇත්නම් යහපත දකිනු ඇත. සැපය ලබනු ඇත. මා ද නිරන්තරයෙන් සියලු වැඩකටයුතු කරන අතර, මරණ සතිය වැඩීම සිදු කළ යුතු ය. මෙසේ සිතා තුන් අවුරුද්දක් ම අතපසු නොකොට දිවා රාත්‍රී සැමකල්හිම මරණ සති භාවනාව පුරුදු පුහුණු කළා ය. පහන් සිතින් කාලය ගත කළා ය. නොයෙක් නයින් ගුණයෙන් පිරුණාය. මෙත් කරුණාවෙන් හදවත විකසිත කර ගත්තා ය. සිතෙහි නිරන්තරව මැරෙන බව මෙනෙහි කොට අප්‍රමාදව කුසල් සිත දියුණු කරගත්තා ය. බිය සැක, දුරුකර ගත්තා ය.
වැඩූ සිත් ඇති අය කවුරුදැයි දිනක් අලුයම් වේලෙහි ලොව බැලූ බුදුපියාණන්ට තුන් අවුරුද්දක් මරණ සතිය වඩා ඇති පේෂකාර දියණියගේ මරණය එ දවස සිදුවෙන බවත්, සෝවාන් වීමට වාසනා භාග්‍ය ඇති බවත් පෙනුණි. සෝතාපත්ති ඵලයට පැමිණ නියත ව, මරණය සිදුවෙන බව දැක මහත් කරුණාවෙන් අලව් නුවර අග්ගලාව විහාරයට වැඩිසේක. බොහෝ දෙනා බණ ඇසීමට වෙහෙරට රැස්වූහ. පේෂකාර දියණිය ද සිය පියාගේ පේෂ කර්මාන්තයට අවශ්‍ය කළමනා කිසිවක් රැගෙන යන අතර, වෙහෙරට ගොස් බණ අසන පිරිස අතර හිඳගත්තා ය. ඇය කෙරෙහි කරුණාවෙන් බුදුන් වහන්සේ මෙසේ ප්‍රශ්න කිහිපයක් ඇයගෙන් විමසූ සේක.
බුදුරජාණන් වහන්සේ -දියණිය, කොහිසිට ආවෙහිද?
පේෂකාර දියණිය -මම නොදනිමි, බුදුන්වහන්ස.
බුදුන්වහන්සේ -කොහි යන්නෙහිද?
පේෂකාර දියණිය -මම නොදනිමි බුදුන්වහන්ස.
බුදුන්වහන්සේ - 
නොදන්නෙහිද?
පේෂකාරදියණිය - 
මම දනිමි. බුදුන් වහන්ස.
බුදුන් වහන්සේ - 
දන්නෙහිද?
පේෂකාරදියණිය- 
මම නොදනිමි බුදුන්වහන්ස.
මෙම ප්‍රශ්න සතරට එක එල්ලේ ඒ ආකාරයෙන් පිළිතුරු දීම ගැන පිරිස කලබල වූහ. ඇය විසින් කටට ආ දෙයක් නොවිචාරා කියන ලද්දේ වේයැයි සිතා කලබල වූ පිරිස සන්සිඳවා සිවු පැනයන්ට මෙසේ උත්තර දීම ගැන ඇයගෙන් විමසූ සේක. පළමුවෙන් විමසූ පැනයට නොදනිමි කියා පිළිතුරු දුන්නේ, පෙර සසරේ මා කවරෙක් වූවා දැයි නොදත් නිසායි. කොහියන්නෙහිද? යන පැනයට මම නොදනිමි යැයි කීවේ මියගොස් උපදින තැන නොදන්නා නිසයි. නොදන්නෙහිද? දනිමියි පිළිතුරු දුන්නේ මැරෙන බව ස්ථිර බව දන්නා හෙයිනි.දන්නෙහිද? මම නොදනිමි ලෙස පිළිතුරු දුන්නේ මැරෙන වේලාව නොදන්නා නිසයි.
මෙසේ නුවණින් පිළිතුරු දීම ගැන ඇයට ප්‍රශංසා කොට මෙම ගාථාව බුදුන්වහන්සේ දේශනා කොට වදාළ සේක.
අන්ධභූතො අයං ලොකො
තනුකෙත්ථ විපස්සති
සකුන්තො ජාල මුන්තො ව
අප්පො සග්ගාය ගච්ඡති
අවිද්‍යාව ප්‍රත්‍ය කොට ලෝවැසියා අන්ධව ජීවිතය ගත කරන්නේ ය. ටික දෙනෙක් පමණක් පංචස්කන්ධය නැසෙන බිඳෙන බව අනිච්ච වශයෙන් අවබෝධකරගෙන අප්‍රමාදව කටයුතු කර මරණින් මතු සුගතියට හෝ නිවනට පත්වෙති. කෙසේද යත්, දැලින් මිදුණු වටුවකු මරණයෙන් බේරී යන්නා සේය. (වටු වැද්දකු දැමූ දැලට අසු නොවී ඉන් ගැලවී බේරියන වටුවන් මෙන්)
දේශනා අවසානයෙහි පේෂකාර දියණිය වැඩු මරණ සතිය ඇති, ඉන්ද්‍රිය ධර්මයන් මෝරා ඇති, අප්‍රමාද විහරණයෙන් යුක්ත වූ තැනැත්තී සක්කාය දිට්ඨිය ප්‍රහීණ වීමෙන් (තුන් සංයෝජන) සෝවාන් ඵලයට පත් වූවා ය.
ඔබත් පේෂකාරදියණිය මෙන් මරණ සතිය නිරන්තරයෙන්ම භාවිතයෙන් බහුල ලෙස වැඩීමට පහත සඳහන් ක්‍රම ආකාරයන් කියවා අප්‍රමාද වන්නට කටයුතු කරන්න. ලෝක සත්වයා සැමදා ජීවත්වීමට කැමැත්තක් ඇති කරගෙන සිටියත්, සෑම තප්පරයක් තප්පරයක් පාසාම ආයුෂ ගෙවී යන්නේ ය. හිඳින, දිග හැරෙන, නැවෙන, ඇවිදින, සිටින, නිදන, වටපිට බලන, කතා කරන, බලන, අසන, රසවිඳින, පහස ලබන හැම ක්‍රියාවක්හිම ආයුෂ ගෙවී ඇත්තේ ය. සිතන පතන හැම තප්පරයකම ආයුෂ ගෙවීයයි. මෙසේ දින, සති, මාස, අවුරුදු මරණයට ම සමීපවන්නේ ය. නමුත් අවිද්‍යා සහගතව බලන අයට පෙනෙන්නේ තමා සදාකාලික බවය. උදාහරණයක් සලකා බලමු. උදේ පාසල් යන දරුවා සවස ගෙදරට එන විට පෙනෙන්නේ උදේ සිටිය දරුවා ලෙසට ය. එම දරුවා ගෙදර සිටින අයට පෙනෙන්නේ ද එසේමය. එහෙත් පැය හයක, හතක කාල පරිච්ඡේදය තුළ වෙනස් වීම, විපරිණාමය ඔවුන්ට අවබෝධ නොවේ. අඩුම තරමේ පිපාසය වු වාරගණන, මලමුත්‍රා කළ වාර ගණන, විවිධ ආබාධ හටගත් වාරගණන, සීත, උෂ්ණය, දහදිය වැගිරීම, ඉරියව්වල විකාරභාවය, සිතේ හටගත් සිතිවිලිවල වේගය, කුසල් අකුසල් රැස් කිරීම, එයින් සිත වැඩි වාර ගණනක් පාපයට ඇදීයාම, පි‍්‍රය අපි‍්‍රය භාවය, කාමයන් මුල් කරගෙන හටගත් දහනය ආදිය පිළිබඳ නුවණින් විමසීමක් සිදු නොවේ. එම මොහොතේ මරණය සිදුවෙතැයි සිත හසුරුවා ගත යුතු ආකාරය ගැන ද අවබෝධයක් නැත.
එමනිසා පහන් සිතකින් මරණයට මුහුණ දීමට මෙන්ම තමාට තමා අයත් ලෝකයක් සදාකාලික කිසිවක් නැතිහෙයින්, පරම සුවය වන නිවන අවබෝධ කර ගැනීමටද මරණ සතිය වැඩිය යුතු ය.
1. වධක පච්චුඨානතො
වධකයකු හිස ගසන්නට එළැඹි සිටියාසේ මරණය ද වහා පැමිණේ යැයි සිහිකිරීම වධක පච්චුපට්ඨානය නම් වේ. පළිගැනීමේ චේතනාවෙන් බොහෝ කලක් සිට ඒ සඳහා අවස්ථාව එළැඹි වහාම සතුරාගේ ජීවිතය තොරකරන්නේ යම්සේද එපරිද්දෙන් මා කරාද ක්‍ෂණ මාත්‍රයෙන් මරණය පැමිණෙතැයි ජීවිතය අනියතයි, මරණය නියතයි යනාදී වශයෙන් භාවනා මනසිකාරය වැඩිය යුතු ය.
* උදාවෙන සූර්යයා මොහොතකුදු නොනැවතී මුදුන් වී නැවත ද මොහොතක්වත් නොනැවතී වහා වහා අස්තයට යන්නේ යම්සේද
* කඳු මුදුනේ පටන් ගත් ගඟක් ශීඝ්‍රව වෙනස් වෙමින් නොනැවතී සාගරයට ගලා යන්නේ යම්සේ ද ජීවිතය ද උප්පත්තියේ සිට ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසාම මරණය කරා පැමිණෙන්නේ ය.
* අහසෙහි පාවෙන වළාකුළු, මහත් වූ සුළඟින්, විසිරී නොපෙනී යන්නේ යම්සේද, අධ්‍යාත්මික වයෝ ධාතුව කිපී මරණය වහා පැමිණෙන්නේ ය.
* වැසි සමයෙහි අහසෙහි දිස්වෙන විදුලි එළිය ඇතිවී ක්ෂණ මාත්‍රයෙන් අහෝසි වී යන්නේ යම්සේද, උපන්නා වූ සත්වයාගේ ජීවිතය සැනකින් මරණයට යන්නේ ය.
* ගසක මල් පිපී සුවඳ හමන මොහොත තුළ දී වැසි හෝ සුළං හමා මල් පෙති විසිරී ගසයට පතිත වන්නේ යම්සේද, සත්වයාගේ ජීවිතය ද මරණ නමැති සුළඟින් විසිරී යන්නේය, පතිත වන්නේ ය.
* ඉදුණු මිහිරි ඵලය නටුවෙන් ගිලිහී යන්නාසේ, ජීවිතය ද මරණයෙන් ගිලිහී යන්නේ ය.
* දිය ඇදි ඉර වහා මැකීයන්නේ යම්සේද ජීවිතය ද ඒකාන්තයෙන් මරණය සමඟ මැකී යන්නේ ය.
* විසිතුරු කරන ලද මැටි භාජනයක් වැටී බිඳීයන්නේ යම්සේද, සත්වයාගේ කයද මරණයෙන් බිඳී යන්නේ ය.
* තණ අග ඇති පිනිබිඳු හිරු උදාවත්ම අතුරුදන් වන්නේ යම්සේද, උපන්නාවූ ජීවිතය මරණයත් සමඟ නැතිවන්නේ ය.
* වැසි වසින කල දිය මත හටගත් බුබුළු බිඳීයන්නේ යම්සේද ජීවිතයද මරණය සමඟ මොහොතකදී බිඳී යන්නේ ය.
මෙලෙස කඩුවක් අමෝරාගත් වධකයකු පැමිණ සිටියාසේ මා වෙත ක්‍ෂණ මාත්‍රයෙන් මරණය පැමිණෙන්නේ යැයි ජීවිතය අනියතයි මරණය නියතයි යනාදී වශයෙන් මරණ සතිය සිහිපත් කළ යුතු ය.
2. සම්පත්ති විපත්තිතො
නිරෝගී සම්පත්තිය, පරිවාර සම්පත්තිය, ධන සම්පත්තිය, බල සම්පත්තිය ආදී කොටැති කවර සම්පත්තියක් වුවද, විපත්තියෙන් කෙළවර වන්නේ ය. ජීවිතය ද මරණයත් සමඟ විනාශ වන්නේ යැයි සිතීම, සිහිකිරීම සම්පත්ති විපත්ති නම් වේ.
* තරුණ සම්පත්තිය ජරාව කෙළවර කොට ඇතැයි ජීවිතය අනිත්‍යයි මරණය නියතයි යනුවෙන් සිහිකළ යුතු ය. ද්වාරයන්ගෙන් වැගිරෙන්නා වූ දෑ තරුණය කියා සුවඳවත් නොවේ. දුගඳ හමන්නේ ය. එසේ කලකිරීම ප්‍රකට කොට තරුණ මදය ප්‍රහාණය කොට මානාදි ක්ලේශ ධර්ම සමුච්ඡේදනය කිරීම පිණිස වීර්යය කළ යුතු ය. උපත සමඟ විපත ඒකාන්ත කොට ඇතැයි මරණසතිය වැඩිය යුතු ය.
* ආරෝග්‍ය සම්පත්තිය ව්‍යාධි ආදියෙන් විපත්ති බහුලකොට ඇතැයි, කුමන ලෙඩකින් ජීවිතයට විපත්ගෙන දී මරණය තමා කරා පැමිණෙන්නේදැයි කිව නොහැකියයි සලකා මරණසතිය සිහි කටයුතු ය.
* සාමිස පී‍්‍රතිය ශෝකය කෙළවර කොට ඇත. ජීවිත සම්පත්තියද ශෝකයත් සමඟ විපත්තිය කරා පැමිණෙන්නේ ය.
* මහා පර්වත සතර දිශාවෙන් මහත් වූ ශබ්දයෙන් හඬ නඟා පෙරැළී එන්නා සේ, ජරා මරණ නමැති මහා පර්වතයද රජ, මැති, ඇමැති ආදී බලවතුන් හා කිසිවක් කර කියා ගත නොහැකි දුබලයන් ආදී භේදයකින් තොරව විනාශයට පත්කරමින් විපත්තිය ගෙන දෙන්නේ ය. එබැවින් ජීවිතය අනියතයි, මරණය නියතයි යනුවෙන් නිරන්තරයෙන් සිහිපත් කළ යුතු ය.
සිවුරඟ සේනාවන් හාත්පසින් ශක්තිමත් කරගෙන යුද්ධ කරමින් රාජධානී ජය ගත්තත්, ජරා මරණ වේගය සත්වයා යටපත් කරගෙන පැමිණෙන විට සිවුරඟ සේනා බලයට කිසිවක් කර කියා ගත නොහැකිය. ජරාමරණය ජය ගන්නේ ය. මෙසේ නුවණින් යුතුව මරණ සතිය වැඩිය යුතු ය.

ඇගේ භාවනාව

401071_214633205297249_601305236_nඒ ගෘහිණිය නිවෙසේ කටයුතු අවසන් කර, බුදු කුටියට පිවිසුණා ය. මල් පහන් පුදා බුදුන් වැන්ද ඇගේ සිත භාවනාවට යොමු විය. මේ ඒ පිළිබඳ සටහනකි.
දිවා කාලයේ නිවෙසේ කටයුතු නිමා කළ ඇය ලහි-ලහියේ සවස බුදු පුදට සැරසුණා ය; සුපුරුදු පරිදි මල් කිහිපයක් කඩාගෙන විත් මල් බඳුන පිළිවෙළට සූදානම් කර පූජා කළා ය; බුදු පහන දැල්වූවා ය.
ගනසාරප්ප දිත්තේන
දීපේන තමදංසිනා
තිලෝක දීපං සම්බුද්ධං
පූජයාමි තමෝනුදං
තුන් ලෝකයට ම ප්‍රදීපයක් බඳු වූ බුදු රජාණන් වහන්සේට මේ පහන් ආලෝකය පූජා කරමි. මෝහාන්ධකාරය දුරු වී ප්‍රඥාලෝකය ලැබීමට මේ කුසලය හේතු වේ වා!
පූජේමි බුද්ධං කුසුමේන නේන
පුඤ්ඥේන මේතේන
ලබාමි මොක්ඛං
පුප්ඵං මිලායාති යථා ඉදම්මේ
කායෝ තථායාති විනාස භාවං
මේ මල් බුදු රජාණන් වහන්සේට පූජා කරමි. මේ මල් මලානික වී යන්නේ යම් සේ ද එලෙසින් ම විනාශ වී යන ශරීරයේ යථා ස්වභාවය අවබෝධ වී නිවන් දැකීමට මේ කුසලය හේතු වේ වා!
මෙලෙස මුමුනමින් බුදු පියාණන් වහන්සේ කෙරෙහි අසීමිත ශ්‍රද්ධාවෙන් මල් පහන් පූජා කළ ඇය දෑස පියාගත්තා ය. මල් පූජාව ම ඇයට කමටහනක් විය. දිගින් දිගට ම ඇගේ සිතිවිලි මෙසේ දිග හැරිණ:
මේ මල් ඉතා ම සුවඳවත්. ඒ වගේ ම ලස්සන යි. මල් වට්ටිය පිළිවෙළට සකස් කළා ම ඊටත් වඩා ලස්සන යි. දකින විට සිතට හරි ම පියකරු දසුනක්. මේ ලස්සන මල් පූජා කරන්නේ ලෝකයට පහළ වූ ලස්සනින් අගතැන්පත් උතුම් ම රන්වන් සිරුරක් දරාගෙන වැඩ සිටි බුදු රජාණන් වහන්සේට යි. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණවලින් ශෝභාවත් වූ, ෂඩ් වර්ණ ඝණ රශ්මි මාලාවකින් බැබළෙන බුදු රජාණන් වහන්සේගේ රන්වන් පාට ශ්‍රී ශරීරය කොතරම් අසිරිමත් ද? නමුත් ඒ ශ්‍රී ශරීරය දෙස ආශාවෙන් බලාගෙන සිටි වක්කලී හිමියන්ට බුදු හිමියන් දේශනා කළේ “වක්කලී, මේ කුණු වී දිරා යන ශරීරය දෙස බැලීමෙන් ඇති ඵලය කුමක් ද? ධර්මය දකින්නට උත්සාහ කරන්න” කියල යි.
සම්මා සම්බුදු පදවිය ලද, දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණවලින් විසිතුරු වූ රන්වන් සිරුර සැදී ඇත්තේ දෙතිස් කුණප කොටස්වලින් බව යි උන් වහන්සේ එදා මතක් කර දුන්නේ. අවුරුදු 80ක් වයස් වූ බුදු පියාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් අමතා “ආනන්දය, මගේ ශරීරය දැන් දිරා ගිය අබලන් වූ කරත්තයක් වගෙයි” කියා තමන් වහන්සේගේ ශරීරය ජරාව, මරණය කරා පැමිණෙමින් තිබෙන බව දේශනා කර තිබෙනවා. අද කායික බලය, ශක්තිය, නීරෝගී බව තිබුණත් තව අවුරුදු කිහිපයක් යද්දී මගේ ශරීරයත් ජරාව මරණය කරා ටිකින් ටික ළං වේවි; නීරෝගී බව නැති වී රෝග-පීඩාවලින් දුක් විඳින්නට සිදු වේවි.
මේ පූජා කළ මල් ටික තව පැය කිහිපයක් යද්දී මැලවී ප්‍රාණවත් බව, ලස්සන නැති වී යනු ඇත. ටිකින් ටික මහලු වියට පත් වන විට මගේ සිරුරේ ප්‍රාණවත් බව, නීරෝගී පෙනුම ටිකෙන් ටික නැති වී යාවි. ලස්සනට තිබෙන මල් මිලාන වී යන්නා සේ මගේ සිරුරත් මලානික වෙමින් මරණය කරා ළං වේවි. මැලවුණු මල් පොළොවට වැටුණු පසු දිය වී කුණු වී පොළොවේ පස් අතර නොපෙනී යන්නා සේ මේ ශරීරය ද කුණු වී විනාශ වී පොළොවට පස් වී යනු ඇත.
අචිරං වතයං කායෝ
පඨවිං අධි සෙස්සති
ඡද්ධෝ අපේත විඤ්ඤාණෝ
නිරත්ථං ව කළිඕගරං
මේ සිරුර විඤ්ඤාණය නැති කල වැඩකට නැත. දර කඩක් මෙන් පොළොව මත වැටෙන්නේ ය. මරණයෙන් සිත ඉවත් වූ පසු ව මේ ශරීරය කිසි ම වැඩකට නැති දෙයක්; මොහොතින් මොහොත කුණු වෙමින් ජරාව වැගිරෙමින් විනාශය කරා යන දෙයක්. අන්තිමට ඉතිරි වන ඇට සැකිල්ල පවා පොළොවේ පසට ම එකතු වී යනවා.
පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේගේ ඇඟ පුරා ම සැදුණු විශාල තුවාල ගොඩක් නිසා, බොහෝ වෙහෙසකට දුකකට පත් ව සිටියා. ඒ මොහොතේ බුදු පියාණන් වැඩම කළා. උන් වහන්සේ උණු පැනින් නහවා පිරිසිදු කර, සෝදා වේළා පිරිසිදු කරගත් සිවුරු අන්දවා බුදු පියාණන් මේ ගාථාවෙන් ධර්මය දේශනා කළා. පූතිගත්ත තිස්ස තෙරුණුවෝ ද ඒ අනුව විදසුන් නුවණ ඇති කරගෙන සසර දුකින් නිදහස් වුණා.
පූතිගත්ත තිස්ස තෙරුන්ට තමන්ගේ සිරුරේ ඇති තුවාල නිසා බොහෝ දුක් විඳින්නට, වේදනා ඉවසන්නට සිදු වුණා. ශරීරයේ වේදනාවන් දැනුණේ උන් වහන්සේගේ සිත පැවතීම නිස යි. ශරීරයෙන් සිත ඉවත් වූ පසු සිරුරට කොතරම් දුක් පීඩා තිබුණත් ඒවා නොදැනෙයි. නමුත් මානසික පීඩා, සිත නිසා ඇති වීම වැළැක්විය නොහැකි යි. ඒ නිසා සිතත්, ශරීරයත් දෙක ම දුක් ඇති වීමට හේතු වෙනවා. මේ සිතත්, ශරීරයත් පැවතීම දුකක් ම යි. පංච උපාදාන ස්කන්ධය ම දුකක් බව බුදු පියාණන් දේශනා කර ඇත්තේ ඒ නිසා යි.
මගේ සිරුරටත් වරින් වර ඇති වුණු ලෙඩ දුක් ආදිය නිසා බොහෝ දුකට පත් වුණු අවස්ථා තිබෙනවා. ශරීරයට ඇති වූ ඒ දුක් පීඩා දැනීමට හේතු වුණේ සිත පවතින නිස යි. නින්දගිය වෙලාවට (දුක් පීඩා තිබෙන අවස්ථාවක) ඒ දුක දැනුණේ නැහැ. සමහර විට සිහි නැති වී තිබුණා නම් සිත ක්‍රියාත්මක නොවන නිසා සිරුරට ඇති වූ ඒ පීඩාවන් නොදැනෙන්නට ඉඩ තිබුණා. ඊට අමතර ව මානසික දුක්, වේදනා, සිත් තැවුල්, අපේක්ෂාවන් ඉටු නොවීම් නිසා අලාභ පාඩු නිසා සිතින් දුකට පත් වූ අවස්ථා කොපමණ ද? මේ කායික මානසික සියලු දුක් ඇති වීමට හේතුව සිතේ සහ කයේ පැවැත්ම යි. පංචස්කන්ධයේ පැවැතීම දුකක්.
රසවත් ආහාරවලින් පෝෂණය කරමින්, සෝදා පිරිසිදු කරමින්, අගනා රන් රිදී ආභරණවලින් සරසවා, ආදරයෙන් රැක-බලාගන්නා මේ සිරුර ලෙඩ වෙන්නට පුළුවනි. ජරාවට පත් වී මරණයට පත් වීම අනිවාර්ය යි. ජීවිතය අනියත යි. නමුත් මරණය නියත යි. මම මගේ ලෙසින් සිතාගෙන සිටින ශරීරය තුළින් සිත ඉවත් වූ පසු ව වැඩකට නැති දරකඩක් මෙන් මහ පොළොවට වැටෙන දෙයක්. දර කැබැල්ලක් බිම වැටුණාට, එය දිරාපත් ව ගියාට, එහි පිළිකුලට පත් වෙන, ජරාවට පත් වෙන, දුර්ගන්ධය හමන, දෙයක් නැහැ. පොළොවට පස් වී යෑම පමණ යි. නමුත් මේ ශරීරය මළ කඳක් හැටියට පොළොවට වැටුණාම මළමිනිය කුණු වන විට, මුළු පළාත ම දුර්ගන්ධ යි. ඕජාව ගලා යන විට එතැන පොළොව පවා මහ පිළිකුල් බවට පත් වනවා. නිල මැස්සන්, පණුවන්, බලු, කපුටන් ආදීන්ට පමණයි එතැන සුවඳවත් තැනක් වන්නේ.
ටිකින් ටික මස් දිය වෙමින් අන්තිමට ඉතිරි වන්නේ ඇටකටු ටික විතර යි. ඒ ඇට කටු ටිකත් ටික කාලයක් යන විට දිරාපත් ව මහ පොළොවට පස් වී නොපෙනී යනවා. ජීවත් ව ඉද්දී හැම දෙනා ම ළං වෙලා සිටියත්, කුණු වී ගඳ ගහන මළ මිනිය ළඟට යන්නට, නැත් නම් මස් දිය වී ඉතිරි වී ඇති ඇටසැකිල්ලට ආදරය කරන්නට, “අපේ, මගේ” කියමින් නෑදෑකම් කියන්නට කවුරුත් ම එන්නේ නැහැ. ඇට සැකිල්ල දිරාපත් ව යනවා, පොළොවේ පසට ම එක් වී නොපෙනී යනවා. ඉතිරි ව ඇත්තේ හිස් බවක් පමණ යි. මේ හිස් බව දකින්නේ සිතින් ම යි. ඒ හිස් බව දකින සිතත් හැම මොහොතක ම පවතින්නේ නැහැ. අනිත්‍යයට යනවා. නැවත සිතක් ඇති වෙනවා. එයත් අනිත්‍යයට යනවා. නැවත ඇති වෙනවා. සැම සිතිවිල්ලක් ම අනිත්‍යයට යනවා. මෙලෙස අනිත්‍යයට යන සිතිවිලි තුළ මමෙක් ඇත්තේ කොතැන ද? සිතිවිලිත් අනිත්‍ය යි, අනාත්ම යි, අනිත්‍ය යි, අනාත්ම යි, අනිත්‍ය යි, අනාත්ම යි.
බොහෝ වේලාවකට පසු ව සමාධියෙන් මිදුණ ද සිතත්, ගතත් දෙකට ම දැනෙන ශාන්ත සුවපත් බවත් සමඟ දෑස නැවත නැවත පියවෙයි. සාධු! සාධු! සාධු! ශාන්ත සුවපත් බවින් මුළු ලොව ම සැනසේ වා!

Friday, January 17, 2014

මානසික සැනසීම ලබන්නේ කොහොමද? 

ලෞකික ජීවිතයේ දී අනේක විධ ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව ඔබ දන්නෙහිය. එම සියලු ගැටලුවලට විසඳුම් බුදු දහම තුළ පෙන්වා දී ඇත. ගිහි හෝ පැවිදි හෝ අපට අවශ්‍ය කරන්නේ මානසික සැනසීමයි. එම සැනසිල්ල ලබා ගන්නා ආකාරය මජ්ජිම නිකායට අයත් ‘සබ්බාසව‘ සූත්‍රයේ ඉතා පැහැදිලිව දක්වා ඇත. එහි සඳහන් පරිදි, 1. පටිසේවන පහාතබ්බා - අවශ්‍ය දේවල් අවශ්‍ය පරිදි සීමා සහිතව පරිහරණය කිරීම මඟින් ගැටලු විසඳා ගත හැකිය. ආහාරපාන, ඇඳුම්, පැළඳුම්, ජලය, විදුලිය වැනි සියලු දෙයක්ම ප්‍රමාණය නොඉක්මවා පරිහරණය කළ යුතු ය. එසේ නොකළොත් ආර්ථික, සෞඛ්‍ය මෙන්ම සමාජයෙන් ද පරිහානියට පත්වෙයි. 2. අධිවාසන පහාතබ්බා - ඉවසීම මඟින් ගැටලු නිරාකරණය කර ගත හැකිය. නොඉවසිල්ල නිසා බොහෝ ගැටලු ඇතිවී අවුල් ජාලයක් වන අවස්ථාවන් ඇත. එබැවින් ඉවසීමෙන් සැනසීම ලබාගත හැකි බව සිතිය යුතු ය.‍ 3. පරිවර්ජන පහාතබ්බා - සිතට ආවේගයක් ඇති වූ විට එම ස්ථානයෙන් ඉවත්ව යාම මඟින් බොහෝ ගැටලු විසඳා ගත හැකිය. කලකෝලාහල වැනි අවස්ථාවන්ට පැටලීම මඟින් බොහෝ දෙනා විපතට පත්වන අයුරු දැකිය හැකි ය. 4. විනෝදනා පහාතබ්බා - සිත තුළ ඇතිවන කෝපය, වෛරය පළිගැනීමේ චේතනාව, තණ්හාව, ආශාව වැනි දෙය නිසා ගැටලු ඇති වේ. ඒවා නිසා දරුණු අපරාධ පවා කිරීමට පෙළඹෙයි. එබැවින් එවැනි චේතනා ඉවත් කර ගත යුතු ය. 5. දස්සනා පහාතබ්බා - එනම් අවබෝධයෙන් කටයුතු කිරීමයි. හොඳ සහ නරක පිළිබඳ, කළ යුතු දෙය නොකළ යුතු දෙය පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතු ය. අනෙකුත් ජාතිකයන්, අනෙකුත් ආගමිකයන් පිළිබඳ මනා අවබෝධයක් මෙන්ම සුහදතාවයක් ගොඩනඟා ගත යුතු ය. එසේ නොවුනහොත් ආගමික, වාර්ගික ගැටුම් ඇති වෙයි. 6. සංවර පහාතබ්බා - මෙයින් පෙන්නුම් කරන්නේ පංච ඉන්ද්‍රියයන් සංවර කර ගැනීමයි. සමාජයේ බොහෝ ගැටලු ඇති වන්නේ පංච ඉන්ද්‍රියයන් අසීමිතව පිනවීමට උත්සා ගැනීම නිසායි. එසේනම් සිත, කය,වචනය කියන තිදොර යමෙක් සංවර කරගන්නේ නම් වර්තමානයෙහි අප දකින බොහෝ සමාජ ගැටලු විසඳා ගත හැකි ය. 7. භාවනා පහාතබ්බා - මනස නොහොත් සිත සංවර කර ගැනීම මඟින් සියලු ගැටලු නිරාකරණය කර ගත හැකි ය. බුදු දහමේ ඉගැන්වීමට අනුව සියලු දෙයටම ප්‍රධාන වන්නේ මනස හෙවත් සිතය. යමෙක් සිත සංවර කරගන්නේ නම් හෙතෙම සමාජයට වැඩදායක අයෙකු මිස, සමාජයට කරදරකාරී අයෙක් නොවේ. ඔහුගෙන් හෝ ඇයගෙන් සමාජයට සෙතක් ශාන්තියක් මිස කරදරයක් විපතක් ඇති නොවේ. මනස හෙවත් සිත එකඟ කර ගැනීම මඟින් අපේ සිත සහ හදවත පිරිසුදු කර ගැනීමට හැකියාව ලැබෙයි. එවිට ශක්තිමත් මනසකින් යථාර්ථය වටහා ගැනීමට හැකි වෙයි. නිරතුරුවම මිනිස් සිත් ආශාවන්, සහජ ගති, ප්‍රේමය, වෛරය, ආශාව වැනි සිතිවිලි රාශියකින් පිරී ඇත. සිතට නැග එන අප්‍රමාණ සිතිවිලි අතරින් අපට ප්‍රයෝජනයක් නැති, පීඩාකාරී සිතිවිලි වලින් මිඳීමට අවශ්‍යතාවයක් ඇති වෙයි. එවිට ඇතැම් දෙනා කරන්නේ කුමක්ද? ඇතැමුන් කලා නිර්මාණ වලට යොමු වෙති. ඇතැමුන් හුදු තාවකාලික විනෝදාශ්වාදයට යොමු වෙති. තවත් පිරිසක් මත් වතුර, මත් ද්‍රව්‍ය වලට යොමුවීමෙන් මානසික අසහනය තාවකාලිකව යටපත් කර ගැනීමට උත්සාහ කරති. එයට ද එහා යන ඇතැමුන් අසහනය දුරු කර ගනු පිණිස සිය දිවි නසා ගැනීමට පෙළඹෙති. එවැනි නිරර්ථක ක්‍රියා මාර්ගයන්ට යොමු විය යුතු නැත. හිතට සහනයක් ලබා ගැනීමට බෞද්ධ භාවනා ක්‍රම අතිශය වැදගත් වෙයි. එයින් සිතෙහි නිරෝගිතාවය මෙන්ම කයෙහි නිරෝගිතාවය ද ඇති කර ගත හැකිය. සියලු සත්හට නිර්වාණාබෝධය ඇති වේවා! තෙරුවන් සරණයි.

 බුදුසරණ අන්තර්ජාල කලාපය - නාලන්දේ විමලවංශ හිමි

Monday, January 13, 2014

භාවනාවට පෙර

ආනාපාන සති භාවනාව කරන්න සුදුසු ඉරියව්වකින් වාඩිවුනාට පස්‌සේ පිංවතුන් විශාල පිරිසකට තිබෙන ප්‍රශ්නයක්‌ තමයි ආශ්වාස ප්‍රශ්වාසයේ සිත නොපිහිටා භාහිර අරමුණක්‌ ඔස්‌සේ සිත දිවයැම. මෙතැනදී ඔබ නොසන්සුන් වෙන්න පුළුවන්. අලසවෙන්න පුළුවන්. භාවනාව කෙරෙහි උදාසීන වෙන්න පුළුවන්. මේ සියල්ල ඔබ තුළ සකස්‌වෙන්නේ පංච නීවරණ වශයෙන්. අරමුණු වේගයෙන් සකස්‌ වෙනවාය කියන්නේ, ඔබ තුළ ඇලීම් ගැටීම්වල ස්‌වභාවය වැඩිය කියන කාරණයයි.
මෙතැනදී ඔබ ඇලෙන්නේ හෝ ගැටෙන්නේ රූපයකට. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිත මාරයාය කියලා. එහෙම නම් ඔබ දක්‍ෂ වෙන්න ඕනේ තැනපත්භාවයෙන් තොර ඔබේ සිත මාරයා වශයෙන් දකින්න. දැන් මේ මාරයා තමයි ඔබට බාධා කරන්නේ, සිත සමාධිමත්භාවයට පත්වන්නට ඉඩ නොදී. මේ හඳුනාගැනීම ඔබ කළාට පස්‌සේ ආනාපානසති භාවනාවෙන් සිත බැහැර කරලා විවේකීව, වේගවත් සිතිවිලි දෙස බලා සිටින්න.
ඔබට ධර්ම මාර්ගයේ අවබෝධය කරා යැම වැළැක්‌වීමට මාරයා උපක්‍රමශීලී වෙනකොට ඔබ දක්‍ෂ වෙන්න ඕනේ මාරයාට වඩා උපක්‍රමශීලී වීමට. මාරයාට මාර ධර්මයෙන්ම විරුද්ධ දිශාවට යැමට මාර සිත රැවැට්‌ටීමට ඔබ දක්‍ෂ විය යුතුයි. විවේකීව වාඩිවෙලා වේගයෙන් අරමුණු ගලාගෙන එන සැටි බලා සිටින්න. ඒවායේ ඇතිවීමත්, වැනසීමත්, එම සිතිවිලි සකස්‌වෙන වේගවත්භාවයත් දකිමින් ඔබ ඔබට චෝදනා කරගන්න. ගැටෙන්න එපා. ඔබ තව තව ප්‍රබෝධමත්ව සිතිවිලි දෙස බලන්න. සිතිවිලි සකස්‌වීමේ වේගවත්භාවය කියන්නේ මාරයාගේ වේගය බව දකින්න. මේ වේගවත්භාවයේ වේගයට සමාන වේගයකින් මාරයාගේ ලෝකයේ නැවත උපතකට අවශ්‍ය සංස්‌කාර ධර්මයන් තමන් රැස්‌කොට ගන්නා බව දකින්න. ඔබේ සිතිවිලි ඇලීම්, ගැටීම් ඔස්‌සේ වේගවත් වෙනවාය කියන්නේ අනාගත දුක්‌ උදෙසා වේගවත්ව සංස්‌කාර රැස්‌කිරීම බව දකින්න. ඔබ මුලින්ම භාවනාවට වාඩි වුණේ ආනාපාන සති භාවනාව කරන්නයි. සිත තැන්පත් කරගන්න බැරිව ගියා. නමුත් ඔබේ දක්‍ෂභාවය නිසා දැන් කුමක්‌ද සිද්ධවෙන්නේ. ධම්මානුපස්‌සනාවයි, වේදනානුපස්‌සනාවයි, චිත්තානුපස්‌සනාවයි වැඩෙන්නේ.
ඔබ සිතේ සකස්‌වෙන ගොරහැඩි චංචල සිතිවිලි දෙස බලා සිටියදී එම සිතිවිලිවල චපල බව, රාගික බව, තෘෂ්ණාධික බව, මෛත්‍රීසහගත බව. මේවා දෙයාකාරයක සිතිවිලි. ඒවායේ ඇතිවීම, නැතිවීම දකිනකොට ඔබ තුළ වැඩෙන්නේ විදර්ශනාවයි. ඔබ විනිවිද දකිනවා, සිත විමර්ශනයට ලක්‌කරනවා. මෙහෙම තමයි ඔබ මාර ධර්මයන්ට පහරදිය යුත්තේ.
මුලින්ම ඔබ ආනාපාන සති භාවනාව කරන්න ගිහින් පංච නීවරණ නිසා එයට අවස්‌ථාව ලැබුණේ නැහැ. ඔබ දක්‍ෂ වුණා එම බාධකය වඩාත් ඉහළ ජයග්‍රහණයක්‌ කරා ඔසවා ගන්න. ඒ කියන්නේ විදර්ශනාවට සිත යොමුකරන්න. මේ දක්‍ෂභාවය ඔබ ලබන්න නම්, සිත කියන්නේ මාරයාය කියන කාරණය කමටහනක්‌ ලෙස ජීවිතයට එකතුකරගන්න ඕනේ. එහෙම එකතුකර ගතහොත් ඔබට පුළුවන් භාවනාවට එරෙහිව එන පංච නීවරණයන් ලෙහෙසියෙන් යටපත්කොට දමන්න.
ඔබ උදාහරණයක්‌ හැටියට හිතන්න, භාවනාව කියන්නේ ක්‍රීඩාවක්‌ය කියලා. ඔබේ ප්‍රතිවාදියා තමයි මාරයා. ප්‍රතිවාදියා නිරතුරුවම උපක්‍රම යොදන්නේ ඔබව පරාජයකොට, තමා ජයගන්න. මෙතැනදී ප්‍රතිවාදියා ඔබට එල්ල කරන උපක්‍රමය තමයි පංච නීවරණ. පංචනීවරණ වලින් මාරයා ඔබට දමා ගසද්දී, ඔබට තිබෙන්නේ සංසුන් ඉරියව්වෙන් මාරයාගේ ඉරියව් දෙස බලා සිටීම පමණයි. ඔබේ දැවීයැම ගැන ඔබ සිතන්න එපා. පරාජය ජයග්‍රහණය ගැන ඔබ සිතිය යුතු නැහැ. මොකද පරාජයත්, ජයග්‍රහණයත් යන දෙකම අනිත්‍යභාවයට පත්වන ධර්මතාවයන්. ඒවා අයිති මාරයාටයි. ඔබ මේ උත්සහ ගන්නේ ජය පරාජය දෙකින්ම මිදී අවබෝධයෙන් නිදහස ලබාගැනීමටය. අවබෝධයෙන් නිදහස්‌ වීම යනු ධර්මයේ අර්ථයයි.
ඔබ මේ ක්‍රමවේදය යොදාගනිමින් ආරක්‍ෂා වෙන තරමට, මාරායාට හතිවැටෙන බව ඔබ දැනගත යුතුය. පිංවත් ඔබ වේගවත්ව ඇතිවන අරමුණු දෙස, ඒවා ඇතිවීම, නැතිවීම දෙස බලා සිටින්න. මද සිනහ පහළකරමින් දකින්න. ප්‍රබෝධමත්ව දකින්න. මාර ධර්මයන් හේතුවෙන් මොහොතක්‌ හෝ කම්පා නොවන්න. පසුතැවිලි නොවන්න. කෙළෙස්‌ විඩාවට පත්කොට, තැන්පත් සිතක්‌ සකස්‌කොටගෙන නැවත අවශ්‍ය භාවනාවට යොමුවන්න.
මොනම හේතුවකින්වත් මෙය මෙසේ වියයුතුයි කියා දෘෂ්ටිගත වන්න එපා. කාලසටහන් සාදාගෙන භාවනාවට යොමුවෙන්න එපා. සියලු සංස්‌කාරයෝ අනිත්‍යයි කියමින්, දකිමින් භාවනාවට යොමුවන්න. පිංවත් ඔබ භාවනා කරන විට ඉදිරියට එන පංච නීවරණයන්ගේ ස්‌වභාවය මත ඔබේ ක්‍රමවේදයන් වෙනස්‌ කරගැනීමට දක්‍ෂ වෙන්න. එහෙම ක්‍රමවේදයන් වෙනස්‌ කරගැනීමට ඔබ අදක්‍ෂ වුවහොත් ඔබ තුළ ඇතිවන ගැටලුවලදී ඔබ ගැටෙනවා. එය හරිම අවාසනාවක්‌. ඔබ මේ ඇලීම හැටියටත්, ගැටීම හැටියටත් අත්දකින්නේ ධම්මානුලපස්‌සනාවයි. වේදනානුපස්‌සනාවයි. නමුත් ඔබ මේ උතුම් විදර්ශනා දැක්‌ම අතහැරලා, මගහැරලා ධර්මයත් සමග ගැටෙන දිශාවට යොමුවෙනවා. ධර්මය ඔබට ස්‌පර්ශ වෙන්නේ ගැටෙන්න නෙවෙයි. අවබෝධ කරගන්නයි.
මෙය සටහන් තබන භික්‍ෂුව ලැබූ යම් අවබෝධයක්‌ වෙත්නම්, ඒ අවබෝධයට මහෝපකාරී වූයේ සිතේ ඇතිවූ ඇලීම්, ගැටීම් ස්‌වභාවයන්ගේ තීව්‍රභාවයන්මය. මාරධර්මයන් නිසා භික්‍ෂුවගේ සිතේ ඇති වූ ඇලීමේ, ගැටීමේ ස්‌වභාවයන් දෙස ධර්මානුකූලව විදර්ශනා ඥානයෙන් බලමින් එම ඇලීම් ගැටීම් මගේ කර නොගෙන, ඒවායේ නිර්මාතෘවරයා දෙසටම එල්ල කිරීමට භික්‍ෂුව දක්‍ෂ විය .එම ක්‍රියාවලිය කොතෙක්‌ සුක්‍ෂම, දක්‍ෂ ආකාරයට භික්‍ෂුව කළාද කිවහොත් අවසානයේදී, මාරයාගේම ඇලීමේ ගැටීමේ ස්‌වභාවය තීව්‍රවී, මාරයා අමතක නොවන පාඩමක්‌ භික්‍ෂුව වෙතින් ඉගෙන ගත්තේය. ඔහු දැන් බියට පත්වී හමාරය. ඔහු බියට පත්කළේ ඔහුගේ ධර්මතාවයන් මගේ කර නොගෙන, ඔහුටම පෙරළා යෑවීම නිසාය. පෙරලා ගැසීම නොවේ. පෙරළා යෑවීම නිසය. පෙරලා ගැසීම යනු මාරයා සතුටුවන දෙයයි. මොකද එතැන ඇත්තේ ගැටීමයි, ව්‍යාපාදයයි. මාර ධර්මයන් පැමිණි විලසින්ම පෙරළා යෑවීම මාරයා ගැටෙන ස්‌වභාවයයි. මාරයා පීඩාවට පත්කරන ස්‌වභාවයයි.

Saturday, January 11, 2014

ලියන් දනිව් මීයන් සේ
මහණෙනි, කුණු වතුර ගලා බසින කානුවක් ළඟ බිලයක මීයෙක් වාසය කළේ ය. දිනක් බළලෙක් මේ මීයා අල්ලාගැනීමට සිතා කානුව ළඟ රැක සිට, බිලයෙන් මීයා එළියට එන විට ම ඌ අල්ලාගත්තේ ය; හනික ගිලදැම්මේ ය.
මීයා බළලාගේ බඩ තුළදී උගේ මහ බඩවැල්, කුඩා බඩවැල් සියල්ල සැපුවේ ය. බළලා ඉමහත් වේදනා විඳ අවසානයේදී මරුමුවට පත් විය.
මහණෙනි,
කාන්තාව ද මීයකු වැනි ය. අසංවර භික්ෂුව බළලෙකු මෙනි. ඇතැම් අසංවර භික්ෂුහු හැඩ වැඩ ඇති කාන්තාවන් දැක රාගය උපදවති; ඔවුන් ගැන කල්පනා කරමින් වේදනා විඳිති; අවසානයේ සිවුරු හැර යති. සිවුරු හැරයෑම මරණයට පත් වීම හා සමාන ය.
(සංයුක්ත නිකාය, බිළාල සූත්‍රය)
සරු කෙත
බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම්හිදී භික්ෂුන් ඇමතූ සේක: මහණෙනි,
කෙතක සරුසාර ව අස්වැන්න වැඩෙන්නේ කරුණු අටකින් යුක්ත වූ විට ය. කෙතෙහි බිම ගල්බොරලුවලින් තොර විය යුතු ය; කරමැටි නැති විය යුතු ය. වළ-ගොඩැලි නොමැති ව සම ව බිම සකස් විය යුතු ය. ගැඹුරට සී සෑ යුතු ය; ගලා එන දියමං පෑදිය යුතුවා සේ ම ගලා යන දියමං ද පෑදිය යුතු ය. වක්කඩවල් තැබිය යුතු ය. නියර බැඳ තිබිය යුතු ය. මේ කරුණු අටෙන් සමන්විත කෙත මනා කෙතකි. අස්වැන්න සරුසාරව වැඩේ.
මහණෙනි, මහණ බමුණෝ පින්කෙත් වැන්නා හ. අංග අටකින් සමන්විත කුඹුරෙහි වැපුරූ බීජයන්ගෙන් සරු අස්වැන්නක් ලැබෙන්නා සේ අංග අටකින් සමන්විත මහණ බමුණන්ට පිදෙන දානයෙන් මහත් ආනිශංසයක් ලැබේ. මහණ බමුණෝ සම්‍යක් දෘෂ්ටියෙන් ද, සම්‍යක් සංකල්පනාවෙන් ද, සම්‍යක් වචනයෙන් ද, සම්‍යක් කර්මාන්තයෙන් ද, සම්‍යක් ආජීවයෙන් ද, සම්‍යක් වෑයමෙන් ද, සම්‍යක් සතියෙන් ද, සම්‍යක් සමාධියෙන් ද යුක්ත විය යුත්තා හ. එබඳු මහණ බමුණන් වෙත පිරිනැමෙන දනින් මහත්ඵල මහානිශංස ලැබේ.
(සංයුක්ත නිකාය
Daham sabhawa

මෑණියෙනි, තවමත් සෙනෙහස නැති කරගන්නට නො හැකි වූවා ද?

4තෙරුවන් කෙරෙහි අපමණ පැහැදීමක් පැවැති ඇය පැවිදි වී කුසල් දහම් පුරන්නට කුඩා කලම ඉටා ගත්තාය. ඒ සඳහා දෙමාපියන් වෙතින් නොයෙක් වර අවසර පැතුවද ඔවුහු එය වැළැක් වූහ. එහෙත්, ධෛර්්‍යය සහ අධිෂ්ඨානය අත් නොහළ ඇය දෙමාපිය සිත් නොරිදා කවදා හෝ තමා විවාහ වූ දිනෙක සැමියා වෙතින් අවසර ලබා පැවිද්දට යන්නට ඉටා ගත්තාය.
රජගහනුවර සිටුමැඳුරක උපන් දියණියක් කුඩා කලම සැදැහැ බව වඩා ගනිමින් පිළිවෙත් පුරන්නට වූවා ය. තෙරුවන් කෙරෙහි අපමණ පැහැදීමක් පැවැති ඇය පැවිදි වී කුසල් දහම් පුරන්නට කුඩා කලම ඉටා ගත්තාය. ඒ සඳහා දෙමාපියන් වෙතින් නොයෙක් වර අවසර පැතුවද ඔවුහු එය වැළැක් වූහ. එහෙත්, ධෛර්ය සහ අධිෂ්ඨානය අත් නොහළ ඇය දෙමාපිය සිත් නොරිදා කවදා හෝ තමා විවාහ වූ දිනෙක සැමියා වෙතින් අවසර ලබා පැවිද්දට යන්නට ඉටා ගත්තාය. තරුණියක වූ ඇයට දෙමාපියන් විවාහ යෝජනා රැගෙන ආ අතර දෙමාපියන් සතුටු කරලීම උදෙසා යහපත් සැදැහැකාමී තරුණයෙකුගේ අත ගැනීමට ද ඇය තීරණය කළාය.
යහපත් සැමියෙකු සමඟ ටික කලක් යුග දිවි ගෙවූ ඇය කුඩා කල සිට පැවැති තම අපේක්‍ෂාව ඔහුට දැන්වූවාය. ඔහු ඒ සඳහා කැමැත්ත පළ කිරීම ඇයට මහත් සතුටක්, ඇති කළේය. එහෙත් ඒ වන විට ඇයගේ කුසෙහි දරු ගැබක් හටගෙන ඇති බව ඇය නොදත්තාය. තම ස්වාමි පුරුෂයා භික්‍ෂුණී ආරාමයක් වෙතට ඇය රැගෙන ගොස් ඇයගේ අපේක්‍ෂාව ඉටු කර දුන්නේය. එහෙත් ඇය පැවිද්ද ලබා ගන්නට ගොස් තිබුණේ දෙව්දත් තෙරුන්ගේ ශ්‍රාවක භික්‍ෂුණී ආරාමයක් වෙත බව ඇය නොදත්තා ය.
ඇයට පිළිසිඳගත් දරු ගැබ කල්යාමේදී මෝරා යද්දී අනෙක් භික්‍ෂුණීන් වහන්සේලා ඇයගෙන් මේ පිළිබඳව විමසන්නට වූහ. එවිට ඇය ප්‍රකාශ කළේ ඒ පිළිබඳ තමා නො දන්නා බවත් තමාගේ පැවිදි ශීලයට කිසිඳු හානියක් නොවූ බව යි.
එය පිළි නොගත් භික්‍ෂුණීන් වහන්සේලා ඇය දෙව්දත් තෙරුන් වෙත ඉදිරිපත් කළහ. දෙව්දත් තෙරුන් කියා සිටියේ මෙය තමන්ගේ ශාසනයේ භික්‍ෂුණීන්ට විශාල අපහාසයක් බැවින් මැය උපැවිදි කොට ආරාමයෙන් නෙරපා හරින ලෙස යි. තමා නො නසන්නැයි ඇය ආයාචනා කළද, එයින් ප්‍රතිඵලයක් නො ලද විට ඇය බුදුරදුන් වෙත පැමිණියාය.
ඇයගේ දරු ගැබ ගිහිව සිටියදී ඇති වූ බව දැන ගත් බුදු හිමියෝ එහෙත් ඇය චෝදනාවෙන් මුදාලීම පිණිස රාජකීය කොමිසමක් පත් කර මේ ගැන සොයා බලන්නට නියම කළහ. කොසොල් රජතුමා ද, අනාථ පිණ්ඩික සිටුතුමා ද, විශාඛා උපාසිකාව ද කැඳවා මේ ප්‍රශ්නය විමසන ලෙසත් එය සම්බන්ධීකරණය කරලීම සඳහා උපාලි තෙරුන් වහන්සේත් පත් කර වදාළහ.
සිව්වනක් පිරිස මධ්‍යයෙහි මේ පරීක්‍ෂණ කණ්ඩායම ඉදිරියට මෙම තෙරණිය කැඳවූ අතර, වටතිර ඇද විශාඛාව විසින් ඇයගේ සියලු ශරීර ලක්‍ෂණ පරීක්‍ෂා කර එම ගර්භයට ගත වූ කාලය තීරණය කෙරිණි. ඒ අනුව එම දරු ගැබ ඇය පැවිදි වීමට පෙර සිදු වූවක් බව තීරණය කළහ. මෙම අධිකරණය විනිශ්චය කළ උපාලි තෙරණුවෝ ඇයගේ නිරවද්‍ය බව පිරිස මධ්‍යයේ ප්‍රකාශයට පත් කළහ. ඇයගේ පිවිතුරු බව එයින් සුරැකුණි. අනතුරුව භික්‍ෂුණී අරමේදී ඇය ආනුභාව සම්පන්න දරුවෙකු ප්‍රසූත කළාය.
එක් දිනක් කොසොල් රජු එම ආරාමය අසලින් ගමන්කරන අතරෙහි කුඩා දරුවෙකු හඬන හඬ ඇසී මේ කුමක්දැයි විමසා භික්‍ෂුණිය දරුවෙකු ප්‍රසූත කළ බව දැන භික්‍ෂුණී ආරාමයක දරුවෙකු පෝෂණය කිරීමේ අපහසු බව දැන එම කුමාරයා රජ මැඳුරට ගෙන්වා කිරිමව්වරුන්ට පවරා ඇති දැඩි කළේය. නම් තබන දා කස්සප යැයි නම තබා රජ මැදුරේ වැඩෙන හෙයින් කුමාර කාශ්‍යප ලෙසද ප්‍රසිද්ධ විය.
මේ කුමරා අනෙක් කුමාරවරුන් සමඟ ක්‍රීඩාවෙහි යෙදෙන විට,අම්මෙක්, තාත්තෙක් නැති එකකැයි මේ කුමරාට අනෙක් අය උසුළු විසුළු කළහ. එයින් සිත් රිදවා ගත් කුමාරයා රජතුමන් හමුවට ගොස් තම මව්පියන් කවරෙකුදැයි විමසා සිටියේය.
නොයෙක් දෑ කියා අවසන පිළිනොගත් විට ඔබේ මව භික්‍ෂුණිය කැයි ද, ආරාමයෙන් රැගෙන ආ බව කියා සිටියේ ය. පුරාකෘත පුණ්‍ය මහිමයෙන් සපිරි මේ කුමරුවා එයින් ම සංවේගයට පත්ව තමාද පැවිදි කරවන්නැ’යි ඉල්ලා සිටියේය.
අනතුරුව රජතුමා බුදුරදුන් වෙත රැගෙන ගිය කුමරා බුදුරදුන් හමුවෙහි පැවිදි බවට පත් කළේය. ඉන් පසු කුමාර කාශ්‍යප තෙරුන් ලෙස ප්‍රචලිතව බුදුරදුන් වෙතින් කමටහන් ලබා විදසුන් වඩා රහත් බවට පත් වීය.
මව් භික්‍ෂුණිය කුමාර කාශ්‍යප මාතා ලෙසින් ද ප්‍රසිද්ධියට පත් වූ අතර දරුවා තමන් වෙතින් වෙන් කළ දා සිට ඇය දරු සෙනෙහසින් කදුළු වගුරුවමින් ම කාලය ගත කළාය. දිනක් ඇය පිඬුසිඟා වඩින විට කුමාර කාශ්‍යප තෙරුන්ද පිඩුසිඟා වඩිනු දැක හැඳින පුත, පුත යැයි අමතමින් දිව එද්දී පය පැටලී බිම ඇද වැටුණාය. දරු පෙමින් ඇයගේ පියයුරෙන් කිරි ද දෑසින් කඳුළු ද ගලා ගියේය. නැවත නැගිට සිවුරද අතින් අල්ලා දුව ගොස් තෙරුන්ගේ අතින් අල්වා ගත්තාය.
එවිට, තෙරුන් වහන්සේ ,මෑණියෙනි, තවමත් ස්නේහය නැති කර ගන්නට නො හැකි වූවා ද? යනුවෙන් විමසූහ. දෙවෙනි,තෙවෙනි වරද එසේ ඇසූ විට දොළොස් වසක් දරු සෙනෙහසින්ම හැඬුයෙමි. එහෙත් මපුතු ඒ සෙනෙහස දුරු කර තිබෙයි. මා තවදුරටත් හඬන්නේ ඇයි දැයි සිතන්නට වූවාය.
එසේ සිතද්දීම ඇයගේ දරු සෙනෙහසේ බැඳීම් සියල්ල පහව ගියෙන් පුත්‍ර පේ‍්‍රමය සිඳ බිඳ දමා උතුම් රහත් බවට පත් වූවාය.
සෙනෙහස වඩන්නා සෝ දුක් උරුම කර ගනී. එය සිඳ බිඳ දමන්නා ලොව කදුළෙන් මිදේ. කුමාර කාශ්‍යප මාතාවගේ කථාව අකාලයේ දරුවන් වියෝවෙන් හඬන මා පියවරුන්ට කදිම උපදේශයක් සම්පාදනය කරයි

දහම් සභාව





Friday, January 10, 2014

මංශයට ඇලී, මාංශයට ගැටී තවත් මස්‌ ගොඩක්‌ දරාගෙනම ඉපදෙමුද?

article-2211187-154B1DFA000005DC-452_634x416මෙය සටහන් කරන භික්‍ෂුව හෙටත් උදෑසන පාත්‍රය රැගෙන ගමට පිණ්‌ඩපාතය වඩිනු ඇත. එහිදී පාත්‍රයට බත් ටිකකුයි පොල් සම්බෝල ස්‌වල්පයකුයි ලැබුණොත් ඇති. එය භික්‍ෂුවට හොඳටම ප්‍රමාණවත් පහුවදා උදෑසන දක්‌වාම. එය භික්‍ෂුව දකින්නේ බත් හෝ පොල් සම්බෝල හැටියට නොවේ. කය පවත්වා ගැනීමට ලැබුණු පිළිකුල සහිතවූ ආහාරයක්‌ ලෙසය.
මස්‌, මාළු, බත්, පරිප්පු, පොලොස්‌…. මේවා මුලාවූ ලෝකයාට බඩ පිරෙන්න දෘෂ්ඨි සපයන මාර කෑම වට්‌ටෝරුවයි. මාරයාගේ වේටර්ලා රිදී බන්දේසියක තබා ඔබට පිළිගන්වන මාරයාගේ කෑම වට්‌ටෝරුව, විඳීමෙන් බැහැරකොට ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් ආහාරයට ගන්න. ප්‍රත්‍යාවේක්‍ෂාව යනු මේ ශරීරයත්, ආහාරයත් දෙකම පිළිකුල් බව දකිමින්, ධර්ම මාර්ගයේ ගමන් කිරීම උදෙසා කය පවත්වාගැනීම අරමුණු කොට ආහාර ගැනීමයි.
පිංවත් ඔබගේ දිවට ඵස්‌සය වන ආහාරය මස්‌ මාංශ වුවද, පරිප්පු වුවද, රසය-ගුණය පිං- පව් කියන සංඥාවන්ගෙන් මිදී අනිත්‍යයි කියන සංඥාවෙන් දකින්නට උත්සහ ගන්න. පිංවත් ඔබ ඒවා කෙරෙහි ඒවා කෙරෙහි ඇතිවන කැමැත්ත අකමැත්ත ඔබේ කර නොගෙන, ධම්මානුපස්‌සනාවට භාරදෙන්න. එවිට ඵස්‌සය නිත්‍යභාවයෙන් ගැනීම නිසා, දෘෂ්ඨියෙන් කිළිටිවුන සිත විදර්ශනාවෙන් විනිවිද දකින්නට හැකිවේවි.
කොහොම ගත්තත් තිරිසන් සංඥා අනතුරුදායකයි. තිරිසන් ලෝකය යනු අකුසල කර්මයන්ගේ මව්බිමයි. අකුසල් මව්බිමේ ඉපදෙන සෑම තිරිසන් සතෙක්‌ම, පෙර ජීවිතයේ සත්ව ඝාතකයෙක්‌මයි. පාපකාරී ජීවිත ගතකළ එම සත්ත්වයින්ට තම අකුසල් සංස්‌කාර විපාක දෙන ධර්මතාවය අපට නවත්වන්න බැහැ. අපි සංස්‌කාරවලින් මිදෙන දිශාවටම ගමන් කරමු. පිංවත් ඔබ ව්‍යාපාර, රැකීරක්‍ෂා කරමින් පංචශීලය තම නිත්‍ය ශීලය හැටියට සමාදන්ව ජීවත්වෙන්න. ශීලයක්‌ සමාදන් වීමට පෙර එම ශීලයේ ඇති වටිනාකම මෙනෙහි කොට ශීලය කෙරෙහි ගෞරවය සකස්‌කොට ගන්න. කිසිම අවස්‌ථාවක සිල්පදයක අර්ථයට අඩු තක්‌සේරුවක්‌ දෙන්න එපා. ඔබට සිතෙනවානම් අද දවසේ අදාළ සිල්පදය කිට්‌ටුවේය කියලා, සමාදන් වන ශිල්පද කිට්‌ටු කරගන්නවාට වඩා, ශීලයට ඇති ගෞරවයෙන්ම එම සිල්පදය සමාදන් නොවී සිටීම යෙහෙකි. නිර්මාංශ වීම හෝ මාංශ අනුභවය සිsල්පදයක්‌ නොවන බව විශ්වාස කරන්න. බුදුරජාණන්වහන්සේ දේශනාකර වදාළ ධර්මය අකීකරු ආකාරයෙන් ගලපා නොගන්න. එසේ වුවහොත් නිරතුරුවම දෘෂ්ඨි මතවාදවල හිමිකරුවෙකු වීමට ඔබට සිදුවනු ඇත.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මස්‌ මාංශ වෙළෙඳාම, මිනිසුන් ඇතුළු සත්ත්ව වෙළඳාම, අවි ආයුධ වෙළඳාම, සුරා වෙළඳාම සහ වස විශ වෙළෙඳාම මිච්ජා ආජීවය වශයෙන්. ඉහත කාරණයේ” අනිවර්යයෙන්ම මස්‌ මාලු වෙළඳාම මිච්ජා ආජීවයට අසුවෙනවා. ඒ ගැන කිසිම සැකයක්‌ නැහැ. හංදියේ හෝටලයේ මුදලාලි මහත්මයා මස්‌ පීරිසයක්‌, මාලු පිරිසියක්‌ විකිණීමේදී, බුරියානි එකක්‌ කොත්තු රොටියක්‌ විකිණීමේදී පවා මිච්ඡා ආර්වයක්‌ සිද්ධ වෙනවා. නමුත් ව්‍යාපාර, රැකිරක්‍ෂා කරන, වගකීම් බහුල පිංවතුන්ලාගේ නිත්‍ය ශීලය පංචශීලයයි. එම නිසා ඔබේ ජීවිතය තුළින් පංචශීලය අර්ථවත් කරගන්න. එවිට ඔබ හෝටලයක, මාලු ලෑල්ලක, ශීතකරණයක බහා මස්‌ මංශ වෙළඳාම කරන විට ශිල්පදයක්‌ බිඳගැනීමක්‌ වෙන්නේ නැහැ. මොකද ඔබ සමාදන්ව සිටින්නේ පංචශීලයයි. නමුත් මිච්ඡා ආජීවයක්‌ ඔබ අතින් සිද්ධවෙනවා. එය බුදුරජාණන්-වහන්සේ ඔබට එපා යෑයි දේශනා කළ කාරණයක්‌. නමුත් ගිහි පිංවතුන් පංචශීලය සමාදන්වීමේදී මිච්ඡා ආජීව කියලා සිල්පදයක්‌ සමාදන් වෙන්නේ නැහැ. පිංවත් ඔබ උපක්‍රමශීලීව ධර්මය ජීවිතයට ගලපාගන්න.
බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කර ඇත්තේ සියලුම සත්ත්වයන් කෙරෙහි මහා කරුණාවෙනි. අපේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩීමේ නොවැඩීමේ ස්‌වභාවය විවිධයි. ඒ නිසා හැමෝටම එකම තැන සිට ධර්මය දකින්න බැහැ. හෝටල් ව්‍යාපාරයක්‌ කරන කෙනෙකුට, මාළු ලෑල්ලක්‌, ශීතකරණයක මස්‌ මාළු වෙළෙඳාම කරන පිරිසකට අපි කීවොත් ඔබ මස්‌ මාංශ විකිණීමෙන් කරන්නේ මහා වරදක්‌, ඔබ මහා දුස්‌ශීලයෙක්‌, ඔබ අනිවාර්යයෙන්ම නිරයට යනවා කියලා, එය මහා ද්‍රෝහිකමක්‌ වෙනවා. සම්බුදු වදනට පටහැනි ප්‍රකාශයක්‌ වෙනවා. එහෙම වුණොත් අනේ ඒ අසරණ වන බෞද්ධයන් අන්‍යාගම්වලට යාවී. මිථ්‍යාදෘෂ්aඨික භාවයට පත්වේවි. ඒ නිසා ඒ අයට කියන්නට තිබෙන්නේ පිංවත් ඔබලා පංචශීලය නිත්‍ය ශීලය හැටියට සමාදන්ව, රැකගෙන ඔබේ ව්‍යාපාරය කරන්න කියලා. එවිට පුළුවන් ඔවුන්ටත් මේ ධර්මයේ සුරක්‍ෂිතභාවයක්‌ ලබාගන්න. එතැන” ඔවුන් අතින් සිල්පදයක්‌ බිඳෙන්නේ නැහැ. තමන් සමාදන්වූ පංච ශීලයට අගෞරවයක්‌ වෙන්නේ නැහැ. නමුත් එම පිංවතුන්ට ශක්‌තිය තිබුණොත් මස්‌ මාංශ විකිණීම මිච්ජා ආජීවයක්‌ නිසා, ඉන් මිදී ජීවත්වෙනවා කියලා තීරණයක්‌ ගන්න, එය ඔහුගේ ජයග්‍රහණයක්‌.
එහෙම නොවුනා කියලා ඔහු දුස්‌ශීලයෙක්‌ නොවේ. මොකද ඔහු තෙරුවන් සරණ ගිය පංචශීලය ක ගෙන ජීවත්වන සිල්වතෙක්‌ නිසා. ඔහුද ධර්මය තුළ සුරක්‍ෂිතභාවය ලැබූවෙක්‌. වගකීම්වලින් බැඳුන ගිහි පිංවතුන්ලාගේ නිත්‍ය ශීලය පංචශීලය කියලයි බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා බුදුරජාණන්වහන්සේ ඉක්‌මවා ගොස්‌ තෙරුවන් සරණ ගිය පංචශීලය ආරක්‍ෂා කරගෙන ජීවත්වෙන මනුෂ්‍යයෙකුට දුස්‌ශීලයි කියන චෝදනාව නගන්න හොඳ නැහැ. පිංවත් ඔහුට තවදුරටත් ධර්මය ගැන සිතමින් , තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගනිමින්, ශීලයෙන් ශක්‌තිමත් වෙමින් ඉදිරියට පැමිණීමට, ඒ පැමිණීම තුළින්ම මිච්ඡා ආජීවයෙන් මිදීමට අවශ්‍ය රැකවරණය සත්පුරුෂභාවයෙන් යුතුව ලබාදෙන්නට අපි පාර පෙන්විය යුතු වෙනවා.
අවසාන වශයෙන්ද කියමි. පිංවත් ඔබ කැමතිනම් නිර්මාංශව ජීවත්වෙන්න. කැමතිනම් මස්‌ මාංශ අනුභව කරන්න. මස්‌ මාංශ කෑම, නොකෑම කෙනෙකුට ශීලයක්‌ නොවන නමුත් මස්‌ මාංශ කෑම, නොකෑම නිසා ඔබ තණ්‌aහාව, මාන්නය, දිට්‌ඨි සකස්‌ කොටගතහොත් එය බලවත් මනෝ කර්මයක්‌ බව හොඳින් සිහිපත් කර ගතයුතු වෙනවා. මස්‌, මාංශ, නිර්මාංශ ලෝකයට අයිති දේවල්. ලෝකයට අයිති දේවල් ලෝකයේම තිබීමට ඉඩහැර, ලෝකයට ඔබ බැඳෙන, රූපය කෙරෙහි ඔබ ඇතිකරගන්නා, ඔබ තුළ සකස්‌ වෙන තෘෂ්ණාවෙන් මිදෙන්න. මස්‌ මාංශ කෙරෙහි සකස්‌ වුවද, නිර්මාංශ කෙරෙහි සකස්‌ වුවද තෘෂ්ණාව යනු දුකෙහි නිර්මාණකරුවාම බව දකින්න. ඔබ දරාගෙන සිටින ශරීරය නැමැති මස්‌ ගොඩේ හිමිකාරීත්වය ඔබට ලබාදෙන්නේ සංස්‌කාර කෙරෙහි සකස්‌කොට ගන්නා තෘෂ්ණාව නිසාම බව දකින්න.
තිරිසන් සතුන්ගේ මස අතහැර, පරිප්පු ව්‍යංජනයේ රස අතහැර ශêරය නැමැති ඔබේ මස්‌ ගොඩෙන් මිදීමේ මාර්ගය දකින්න.
එවිට මෙතැන ඇත්තේ මස්‌, මාළු, පරිප්පු ප්‍රශ්නයක්‌ නොව ඒවා කෙරෙහි ඇතිකරගන්නා ඇලීමේ ගැටීමේ ප්‍රශ්නයක්‌ බව ඔබ දකිනු ඇත.
ලොව්තුරා බුදුරජාණන්වහන්සේගෙන් දේවදත්ත හිමියන් මස්‌ මාංශ වැළඳීම තහනම් කරන ලෙස කළ ඉල්ලීමේදී බුදුරජාණන්වහන් සේ දේශනා කළේ කැමැති කෙනෙක්‌ තමන්ට පූජා කරන මස්‌ වැළඳුවාවේ, කැමති කෙනෙක්‌ නිර්මාංශව පිණ්‌ඩපාතය වැළඳුවාවේ යන්නයි.
එතැනයි ඇලීමේ, ගැටීමේ ස්‌වභාවයෙන් මිදුණු උපේක්‍ෂාව. මධ්‍යම ප්‍රතිපදාව. අපි ඒ සම්මා සම්බුදු වදන ඉක්‌මවා යා යුතු නැහැ. එහෙම වුණොත් අපිට කවදාකවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මරත්නය, සංඝරත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවට එන්න බැහැ. ලෝකය ලෝකයේ ස්‌වභාවයෙන් තිබුණාවේ. පිංවත් ඔබ ධර්මයේ ස්‌වභාවයට එන්න. මස්‌ මාංශ නිසා, හේතුඵල ධර්මයන්ට අනුව නැවත මස්‌ ගොඩකට බැසගන්න, ඵස්‌ස ආහාර, මනෝසංෙච්තනා ආහාර, විඤ්ඤාණ ආහාර යන ආහාර 3 ක්‌ බුදින ධර්මයේ රැකවරණය අහිමි කරගත් පිංවතෙක්‌ වෙන්න එපා. අපි සියලුම දෙනා බුදුරජාණන්වහන්සේගේ දරුවෝ. එමනිසා බුදුරජාණන්වහන්සේ දේශනා කළ ධර්මයේ ඇසෙන් ලෝකය දකින්න. තමාගේ කැමැත්ත, අකමැත්ත තමාට අයිති නැති කොට, අනුන්ගේ කැමැත්ත අකමැත්ත ඔබ ඔබේ කරගන්න එපා. ඒ ඔබ ඔබේ කරගන්නේ දුකයි

භාවනාවට පෙර… අතීත ශක්‌තීන් අවබෝධයෙන් ආයෝජනයට ගන්න

භාවනාවට පෙර… අතීත ශක්‌තීන් අවබෝධයෙන් ආයෝජනයට ගන්න

flat,550x550,075,fඅතීත භව කාන්තාරයේ ඔබ අයිති කොටගත්, දේ ගැන නැවත නැවත කමටහනක්‌ කොට මෙනෙහි කරන්න. ඔබ අතීතයේ ධ්‍යානලාභීන් ලෙස, අහසින් ගමන් කළ හැටි, දියමත ගමන් කළ හැටි, මෛත්‍රි ධ්‍යාන ලබා මනුෂ්‍යයින් දෙවියන් බ්‍රහ්මයින් වසඟයට ගත් හැටි, මෙනෙහි කරන්න. මේ අතීත භවයන්හිදී ඔබ කළ දේවල් ගැනයි මෙනෙහි කරන්නේ.
අතීතයේ එහෙව් අසිරිමත් කෙනෙක්‌ ඔබ.
මේවා මෙනෙහි කරමින් ආත්ම විශ්වාසය, ආත්ම ශක්‌තිය වර්ධනය කරගන්න. ඔබ කවුද කියන කාරණය අතිශෝක්‌තියෙන් තොරව ඔබ දකින්න. ඔබ අතීත භවයන්හිදී නවත්වපු තැන මෙනෙහි කරන්න. ඔබ තුළ සැඟවුණු අයෝමය ශක්‌තිය මෙනෙහි කරමින් මතු කොට ගන්න. පිංවත් ඔබට සුනීතට සෝපාකට, කිසාගෝතමියට පිහිට වූවා සේ ඔබව ආශ්චර්යමත් පෙළහර මතුකොට දී සත්‍ය පසක්‌ කොට දෙන්න. වර්තමානයේ ජීවමාන ලොව්තුරා බුදුරජාණාන් වහන්සේ නමක්‌ නැහැ. ඒ නිසා ඔබ කවුද කියන කාරණය ඔබ තුළින්ම මතු කොට ගන්න.
මාන්නයෙන් තොර වූ අයෝමය ආත්මශක්‌තියත් ඔබ තුළින්ම මතු කොටගෙන, භාවනාවට යොමු වෙන්න. සමාධියේ ආශ්වාදය උදෙසා නොව, වේදනාවේ නිරෝධය සඳහා ඉලක්‌කය යොමු කරන්න. අතීතයේ ඔබ දිග්විජය කළ ධ්‍යාන ඵලයන් ගැන නැවත වර්තමානයේ මොහොතක්‌ හෝ, තෘෂ්ණාව ඇති නොකරගන්න. එවැනි සිතුවිල්ලක්‌ සකස්‌ වෙන මොහොතක සතුරා තෘෂ්ණාව නිසා අරමුණු වන, සෑම රූපයක්‌ම අනිත්‍ය සංඥාවෙන්ම මෙනෙහි කරන්න. කොතැනකවතA තෘෂ්ණාවට ඉඩක්‌ සකස්‌ කරන්න එපා. තෘෂ්ණාවට ඉඩක්‌ සකස්‌ කළොත් එහි ඵලය, දුකම බව දකින්න. අතීත භවයන්හිදී රූපී අරූපී බ්‍රහ්මතල ස්‌පර්ශ කිරීමට සමත් ධ්‍යාන ශක්‌තිය ඔබ ලැබූවත් එම සංස්‌කාරයෝ අනිත්‍ය බව මේ මොහොතේ ඔබේ ජීවිතය තුළින් දකින්න.
යමක්‌ අනිත්‍ය නම්, එය දුකයි නේද? එසේනම් එම දුක පසුපස පරණ පුරුද්දට නැවත නොයන්න. මෙය සටහන් කරන භික්‍ෂුව එක තත්පරයකදී හෝ ධ්‍යාන අවස්‌ථාවක්‌ පිළිබඳ තෘෂ්ණාවක්‌ සකස්‌කොට නොගත් බව කියමි. අනිත්‍යභාවයට පත්වන ධ්‍යානයන්, ධ්‍යාන ස්‌වභාවයෙන්ම තිබේවී. නැතිවේවී. ඔබ ඒ දුක කරට ගන්න යන්න එපා. දුක ප්‍රයෝජනයට ගෙන සැබෑම සැපය ලබාදෙන මාර්ගයට අවතීර්ණ වන්න. පිංවත් ඔබ භාවනාවට යොමුවෙන්නේ හුදු කායික මානසික විවේකයක්‌ සකස්‌කොට ගැනීමට නම් ඉහත අදහස්‌ ඔබට නොගැලපෙනවා වෙන්න පුළුවන්. නමුත් එවැනි පිංවතුන් සිතන්න ඕනේ, අනිත්‍යභාවයට පත්වෙන විවේකයක්‌ උදෙසා, අනිත්‍යභාවයට පත්වෙන සමාධියක්‌ පසුපස යැම අර්ථයක්‌ නොවන බව.
සමාජය සංකීර්ණභාවයට පත්කර ඇත්තේ තෘෂ්ණාව විසින්මයි. එම සංකීර්ණභාවයෙන් ඔබ තුළ සකස්‌වෙන මානසික පීඩනයෙන් මිදීම සඳහා, ඔබ සමාධි භාවනාවක්‌ කෙරෙහි තෘෂ්ණාව සකස්‌කොටගෙන භාවනාවට යොමුවෙනවා. එය බොහොම හොඳ දෙයක්‌. නමුත් මෙතැනදි ඔබ දක්‍ෂ නම්, ඔබ තුළ ඇතිවන මානසික පීඩනය සකස්‌ කළෙත් තෘෂ්ණාවයි, ඉන් මිදීමට සමාධිභාවනාවන් කෙරෙහි සකස්‌ වුණෙත් තෘෂ්ණාවමයි කියලා හිතන්න, ඒ ඔබ දකින්නේ තෘෂ්ණාවෙන් මිදීමේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. ඔබ එක සිතිවිල්ලක්‌ නුවනින් සකස්‌කොටගත් සැනින්, අර්ථවත් ලෙස මාර්ගයට අවතීර්ණ වෙනවා. මොකද ඔබ අතීතයේ රූපී, අරූපී සංඥා ස්‌පර්ශ කර අත්දැකීම් තියෙන නිසා. ඒවා අනිත්‍යයි කියන සංඥාව මතුකරගැනීමට ඔබට අපහසු නැහැ. එසේ නොවුනහොත් ඔබ අතීත භවයන්හිදී පටලවාගත් සේ, මෙවරද පටලවාගනු ඇත. භාවනා කිරීමට කැමැත්ත අත්‍යවශ්‍යය. එහෙත් ඔබගේ සිත සමාධිමත් භාවයට පත්වූ සැනින්, එම කැමැත්ත අනිත්‍ය සංඥාවට යොමුකිරීමට ඔබ දක්‍ෂ විය යුතුය. කැමැත්තෙත්, අකමැත්තෙත් අනිත්‍යභාවය ඔබ විදර්ශනාවට ලක්‌කළ යුතුය. ඒ නිසා අනිත්‍යභාවයට පත්වෙන සමාධිමත් සිත උපයෝගිකරගෙන ප්‍රඥාවේ ඇත්ත සොයායැමයි ඔබ කළ යුත්තේ. ඔබ අතීතයේ නොකළ එකම දෙයත් එයමයි. එම නිසා අතීතයේ නොකළ එකම දෙය වර්තමානයේ කරන්න. තමා තමාව කමටහනක්‌ කරගන්න.
දුර බලන්න අවශ්‍ය නැහැ. ළඟ බලන්න අවශ්‍යත් නැහැ. තමා තමා දෙස බලන්න. මොකද ඔබ ගොඩනගාගත් ලෝකය තිබෙන්නේ තමා තුළ නිසා. තෘෂ්ණාව නිසා තමා තුළ තමා සකස්‌කොටගෙන ඇති ලෝකය දෙස බලන්න. ඒ ලෝකය තුළ ඇස, කන, නාසය, දිව, මනස, කය තිබෙනවා. ඒ ලෝකය තුළ ඉර, හඳ, තරු, අම්මා, තාත්තා, දරුවා සිටිනවා. ඔබ මේ සියල්ල මගේ ලෝකය තුළ බැඳගෙන සිටින්නේ තෘෂ්ණාව නැමැති යදමින්. තෘෂ්ණාව නැමැති සංසාරයක්‌ පුරාවට ශක්‌තිමත්ව වැඩුණු යදම ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන්කර සිඳ දමා ගතහොත් ඔබට ඉහත ලෝකය අතහැරෙනවා.
නමුත් රහතන් වහන්සේටත් ඇසක්‌, කනක්‌, දිවක්‌, නාසයක්‌, මනසක්‌, කයක්‌ තිබෙනවා. අහස, පොළොව, අම්මා, තාත්තා ඉන්නවා. නමුත් මේවා මගේ කරගත් තෘෂ්ණාව ක්‍ෂයවෙලා. ලෝකයට අයිති දුකෙන් නිදහස්‌ වෙලා. ඔබ භාවනා කිරීමට පෙර, දුකත්, දුකට හේතුවත් වෙන්කොට හඳුනාගන්න. මේ දෙවල් මෙනෙහි කරන්න පිංවත් ඔබට එරමිනියා ගොතාගෙන ඉන්න අවශ්‍යම නැහැ. විවේක සෑම මොහොතකම මේ කාරණා ගැන මෙනෙහි කරන්න
දහම් සභාව​