ලියන් දනිව් මීයන් සේ
මහණෙනි, කුණු වතුර ගලා බසින කානුවක් ළඟ බිලයක මීයෙක් වාසය කළේ ය. දිනක් බළලෙක් මේ මීයා අල්ලාගැනීමට සිතා කානුව ළඟ රැක සිට, බිලයෙන් මීයා එළියට එන විට ම ඌ අල්ලාගත්තේ ය; හනික ගිලදැම්මේ ය.
මීයා බළලාගේ බඩ තුළදී උගේ මහ බඩවැල්, කුඩා බඩවැල් සියල්ල සැපුවේ ය. බළලා ඉමහත් වේදනා විඳ අවසානයේදී මරුමුවට පත් විය.
මහණෙනි,
කාන්තාව ද මීයකු වැනි ය. අසංවර භික්ෂුව බළලෙකු මෙනි. ඇතැම් අසංවර භික්ෂුහු හැඩ වැඩ ඇති කාන්තාවන් දැක රාගය උපදවති; ඔවුන් ගැන කල්පනා කරමින් වේදනා විඳිති; අවසානයේ සිවුරු හැර යති. සිවුරු හැරයෑම මරණයට පත් වීම හා සමාන ය.
(සංයුක්ත නිකාය, බිළාල සූත්‍රය)
සරු කෙත
බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම්හිදී භික්ෂුන් ඇමතූ සේක: මහණෙනි,
කෙතක සරුසාර ව අස්වැන්න වැඩෙන්නේ කරුණු අටකින් යුක්ත වූ විට ය. කෙතෙහි බිම ගල්බොරලුවලින් තොර විය යුතු ය; කරමැටි නැති විය යුතු ය. වළ-ගොඩැලි නොමැති ව සම ව බිම සකස් විය යුතු ය. ගැඹුරට සී සෑ යුතු ය; ගලා එන දියමං පෑදිය යුතුවා සේ ම ගලා යන දියමං ද පෑදිය යුතු ය. වක්කඩවල් තැබිය යුතු ය. නියර බැඳ තිබිය යුතු ය. මේ කරුණු අටෙන් සමන්විත කෙත මනා කෙතකි. අස්වැන්න සරුසාරව වැඩේ.
මහණෙනි, මහණ බමුණෝ පින්කෙත් වැන්නා හ. අංග අටකින් සමන්විත කුඹුරෙහි වැපුරූ බීජයන්ගෙන් සරු අස්වැන්නක් ලැබෙන්නා සේ අංග අටකින් සමන්විත මහණ බමුණන්ට පිදෙන දානයෙන් මහත් ආනිශංසයක් ලැබේ. මහණ බමුණෝ සම්‍යක් දෘෂ්ටියෙන් ද, සම්‍යක් සංකල්පනාවෙන් ද, සම්‍යක් වචනයෙන් ද, සම්‍යක් කර්මාන්තයෙන් ද, සම්‍යක් ආජීවයෙන් ද, සම්‍යක් වෑයමෙන් ද, සම්‍යක් සතියෙන් ද, සම්‍යක් සමාධියෙන් ද යුක්ත විය යුත්තා හ. එබඳු මහණ බමුණන් වෙත පිරිනැමෙන දනින් මහත්ඵල මහානිශංස ලැබේ.
(සංයුක්ත නිකාය
Daham sabhawa
No comments:
Post a Comment