මානසික සැනසීම ලබන්නේ කොහොමද?
ලෞකික ජීවිතයේ දී අනේක විධ ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව ඔබ දන්නෙහිය. එම සියලු ගැටලුවලට විසඳුම් බුදු දහම තුළ පෙන්වා දී ඇත. ගිහි හෝ පැවිදි හෝ අපට අවශ්‍ය කරන්නේ මානසික සැනසීමයි. එම සැනසිල්ල ලබා ගන්නා ආකාරය මජ්ජිම නිකායට අයත් ‘සබ්බාසව‘ සූත්‍රයේ ඉතා පැහැදිලිව දක්වා ඇත. එහි සඳහන් පරිදි, 1. පටිසේවන පහාතබ්බා - අවශ්‍ය දේවල් අවශ්‍ය පරිදි සීමා සහිතව පරිහරණය කිරීම මඟින් ගැටලු විසඳා ගත හැකිය. ආහාරපාන, ඇඳුම්, පැළඳුම්, ජලය, විදුලිය වැනි සියලු දෙයක්ම ප්‍රමාණය නොඉක්මවා පරිහරණය කළ යුතු ය. එසේ නොකළොත් ආර්ථික, සෞඛ්‍ය මෙන්ම සමාජයෙන් ද පරිහානියට පත්වෙයි. 2. අධිවාසන පහාතබ්බා - ඉවසීම මඟින් ගැටලු නිරාකරණය කර ගත හැකිය. නොඉවසිල්ල නිසා බොහෝ ගැටලු ඇතිවී අවුල් ජාලයක් වන අවස්ථාවන් ඇත. එබැවින් ඉවසීමෙන් සැනසීම ලබාගත හැකි බව සිතිය යුතු ය. 3. පරිවර්ජන පහාතබ්බා - සිතට ආවේගයක් ඇති වූ විට එම ස්ථානයෙන් ඉවත්ව යාම මඟින් බොහෝ ගැටලු විසඳා ගත හැකිය. කලකෝලාහල වැනි අවස්ථාවන්ට පැටලීම මඟින් බොහෝ දෙනා විපතට පත්වන අයුරු දැකිය හැකි ය. 4. විනෝදනා පහාතබ්බා - සිත තුළ ඇතිවන කෝපය, වෛරය පළිගැනීමේ චේතනාව, තණ්හාව, ආශාව වැනි දෙය නිසා ගැටලු ඇති වේ. ඒවා නිසා දරුණු අපරාධ පවා කිරීමට පෙළඹෙයි. එබැවින් එවැනි චේතනා ඉවත් කර ගත යුතු ය. 5. දස්සනා පහාතබ්බා - එනම් අවබෝධයෙන් කටයුතු කිරීමයි. හොඳ සහ නරක පිළිබඳ, කළ යුතු දෙය නොකළ යුතු දෙය පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතු ය. අනෙකුත් ජාතිකයන්, අනෙකුත් ආගමිකයන් පිළිබඳ මනා අවබෝධයක් මෙන්ම සුහදතාවයක් ගොඩනඟා ගත යුතු ය. එසේ නොවුනහොත් ආගමික, වාර්ගික ගැටුම් ඇති වෙයි. 6. සංවර පහාතබ්බා - මෙයින් පෙන්නුම් කරන්නේ පංච ඉන්ද්‍රියයන් සංවර කර ගැනීමයි. සමාජයේ බොහෝ ගැටලු ඇති වන්නේ පංච ඉන්ද්‍රියයන් අසීමිතව පිනවීමට උත්සා ගැනීම නිසායි. එසේනම් සිත, කය,වචනය කියන තිදොර යමෙක් සංවර කරගන්නේ නම් වර්තමානයෙහි අප දකින බොහෝ සමාජ ගැටලු විසඳා ගත හැකි ය. 7. භාවනා පහාතබ්බා - මනස නොහොත් සිත සංවර කර ගැනීම මඟින් සියලු ගැටලු නිරාකරණය කර ගත හැකි ය. බුදු දහමේ ඉගැන්වීමට අනුව සියලු දෙයටම ප්‍රධාන වන්නේ මනස හෙවත් සිතය. යමෙක් සිත සංවර කරගන්නේ නම් හෙතෙම සමාජයට වැඩදායක අයෙකු මිස, සමාජයට කරදරකාරී අයෙක් නොවේ. ඔහුගෙන් හෝ ඇයගෙන් සමාජයට සෙතක් ශාන්තියක් මිස කරදරයක් විපතක් ඇති නොවේ. මනස හෙවත් සිත එකඟ කර ගැනීම මඟින් අපේ සිත සහ හදවත පිරිසුදු කර ගැනීමට හැකියාව ලැබෙයි. එවිට ශක්තිමත් මනසකින් යථාර්ථය වටහා ගැනීමට හැකි වෙයි. නිරතුරුවම මිනිස් සිත් ආශාවන්, සහජ ගති, ප්‍රේමය, වෛරය, ආශාව වැනි සිතිවිලි රාශියකින් පිරී ඇත. සිතට නැග එන අප්‍රමාණ සිතිවිලි අතරින් අපට ප්‍රයෝජනයක් නැති, පීඩාකාරී සිතිවිලි වලින් මිඳීමට අවශ්‍යතාවයක් ඇති වෙයි. එවිට ඇතැම් දෙනා කරන්නේ කුමක්ද? ඇතැමුන් කලා නිර්මාණ වලට යොමු වෙති. ඇතැමුන් හුදු තාවකාලික විනෝදාශ්වාදයට යොමු වෙති. තවත් පිරිසක් මත් වතුර, මත් ද්‍රව්‍ය වලට යොමුවීමෙන් මානසික අසහනය තාවකාලිකව යටපත් කර ගැනීමට උත්සාහ කරති. එයට ද එහා යන ඇතැමුන් අසහනය දුරු කර ගනු පිණිස සිය දිවි නසා ගැනීමට පෙළඹෙති. එවැනි නිරර්ථක ක්‍රියා මාර්ගයන්ට යොමු විය යුතු නැත. හිතට සහනයක් ලබා ගැනීමට බෞද්ධ භාවනා ක්‍රම අතිශය වැදගත් වෙයි. එයින් සිතෙහි නිරෝගිතාවය මෙන්ම කයෙහි නිරෝගිතාවය ද ඇති කර ගත හැකිය. සියලු සත්හට නිර්වාණාබෝධය ඇති වේවා! තෙරුවන් සරණයි.
බුදුසරණ අන්තර්ජාල කලාපය - නාලන්දේ විමලවංශ හිමි
No comments:
Post a Comment