ඇගේ භාවනාව
දිවා කාලයේ නිවෙසේ කටයුතු නිමා කළ ඇය ලහි-ලහියේ සවස බුදු පුදට සැරසුණා ය; සුපුරුදු පරිදි මල් කිහිපයක් කඩාගෙන විත් මල් බඳුන පිළිවෙළට සූදානම් කර පූජා කළා ය; බුදු පහන දැල්වූවා ය.
ගනසාරප්ප දිත්තේන
දීපේන තමදංසිනා
තිලෝක දීපං සම්බුද්ධං
පූජයාමි තමෝනුදං
දීපේන තමදංසිනා
තිලෝක දීපං සම්බුද්ධං
පූජයාමි තමෝනුදං
තුන් ලෝකයට ම ප්‍රදීපයක් බඳු වූ බුදු රජාණන් වහන්සේට මේ පහන් ආලෝකය පූජා කරමි. මෝහාන්ධකාරය දුරු වී ප්‍රඥාලෝකය ලැබීමට මේ කුසලය හේතු වේ වා!
පූජේමි බුද්ධං කුසුමේන නේන
පුඤ්ඥේන මේතේන
ලබාමි මොක්ඛං
පුප්ඵං මිලායාති යථා ඉදම්මේ
කායෝ තථායාති විනාස භාවං
පුඤ්ඥේන මේතේන
ලබාමි මොක්ඛං
පුප්ඵං මිලායාති යථා ඉදම්මේ
කායෝ තථායාති විනාස භාවං
මේ මල් බුදු රජාණන් වහන්සේට පූජා කරමි. මේ මල් මලානික වී යන්නේ යම් සේ ද එලෙසින් ම විනාශ වී යන ශරීරයේ යථා ස්වභාවය අවබෝධ වී නිවන් දැකීමට මේ කුසලය හේතු වේ වා!
මෙලෙස මුමුනමින් බුදු පියාණන් වහන්සේ කෙරෙහි අසීමිත ශ්‍රද්ධාවෙන් මල් පහන් පූජා කළ ඇය දෑස පියාගත්තා ය. මල් පූජාව ම ඇයට කමටහනක් විය. දිගින් දිගට ම ඇගේ සිතිවිලි මෙසේ දිග හැරිණ:
මේ මල් ඉතා ම සුවඳවත්. ඒ වගේ ම ලස්සන යි. මල් වට්ටිය පිළිවෙළට සකස් කළා ම ඊටත් වඩා ලස්සන යි. දකින විට සිතට හරි ම පියකරු දසුනක්. මේ ලස්සන මල් පූජා කරන්නේ ලෝකයට පහළ වූ ලස්සනින් අගතැන්පත් උතුම් ම රන්වන් සිරුරක් දරාගෙන වැඩ සිටි බුදු රජාණන් වහන්සේට යි. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණවලින් ශෝභාවත් වූ, ෂඩ් වර්ණ ඝණ රශ්මි මාලාවකින් බැබළෙන බුදු රජාණන් වහන්සේගේ රන්වන් පාට ශ්‍රී ශරීරය කොතරම් අසිරිමත් ද? නමුත් ඒ ශ්‍රී ශරීරය දෙස ආශාවෙන් බලාගෙන සිටි වක්කලී හිමියන්ට බුදු හිමියන් දේශනා කළේ “වක්කලී, මේ කුණු වී දිරා යන ශරීරය දෙස බැලීමෙන් ඇති ඵලය කුමක් ද? ධර්මය දකින්නට උත්සාහ කරන්න” කියල යි.
සම්මා සම්බුදු පදවිය ලද, දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණවලින් විසිතුරු වූ රන්වන් සිරුර සැදී ඇත්තේ දෙතිස් කුණප කොටස්වලින් බව යි උන් වහන්සේ එදා මතක් කර දුන්නේ. අවුරුදු 80ක් වයස් වූ බුදු පියාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් අමතා “ආනන්දය, මගේ ශරීරය දැන් දිරා ගිය අබලන් වූ කරත්තයක් වගෙයි” කියා තමන් වහන්සේගේ ශරීරය ජරාව, මරණය කරා පැමිණෙමින් තිබෙන බව දේශනා කර තිබෙනවා. අද කායික බලය, ශක්තිය, නීරෝගී බව තිබුණත් තව අවුරුදු කිහිපයක් යද්දී මගේ ශරීරයත් ජරාව මරණය කරා ටිකින් ටික ළං වේවි; නීරෝගී බව නැති වී රෝග-පීඩාවලින් දුක් විඳින්නට සිදු වේවි.
මේ පූජා කළ මල් ටික තව පැය කිහිපයක් යද්දී මැලවී ප්‍රාණවත් බව, ලස්සන නැති වී යනු ඇත. ටිකින් ටික මහලු වියට පත් වන විට මගේ සිරුරේ ප්‍රාණවත් බව, නීරෝගී පෙනුම ටිකෙන් ටික නැති වී යාවි. ලස්සනට තිබෙන මල් මිලාන වී යන්නා සේ මගේ සිරුරත් මලානික වෙමින් මරණය කරා ළං වේවි. මැලවුණු මල් පොළොවට වැටුණු පසු දිය වී කුණු වී පොළොවේ පස් අතර නොපෙනී යන්නා සේ මේ ශරීරය ද කුණු වී විනාශ වී පොළොවට පස් වී යනු ඇත.
අචිරං වතයං කායෝ
පඨවිං අධි සෙස්සති
ඡද්ධෝ අපේත විඤ්ඤාණෝ
නිරත්ථං ව කළිඕගරං
පඨවිං අධි සෙස්සති
ඡද්ධෝ අපේත විඤ්ඤාණෝ
නිරත්ථං ව කළිඕගරං
මේ සිරුර විඤ්ඤාණය නැති කල වැඩකට නැත. දර කඩක් මෙන් පොළොව මත වැටෙන්නේ ය. මරණයෙන් සිත ඉවත් වූ පසු ව මේ ශරීරය කිසි ම වැඩකට නැති දෙයක්; මොහොතින් මොහොත කුණු වෙමින් ජරාව වැගිරෙමින් විනාශය කරා යන දෙයක්. අන්තිමට ඉතිරි වන ඇට සැකිල්ල පවා පොළොවේ පසට ම එකතු වී යනවා.
පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේගේ ඇඟ පුරා ම සැදුණු විශාල තුවාල ගොඩක් නිසා, බොහෝ වෙහෙසකට දුකකට පත් ව සිටියා. ඒ මොහොතේ බුදු පියාණන් වැඩම කළා. උන් වහන්සේ උණු පැනින් නහවා පිරිසිදු කර, සෝදා වේළා පිරිසිදු කරගත් සිවුරු අන්දවා බුදු පියාණන් මේ ගාථාවෙන් ධර්මය දේශනා කළා. පූතිගත්ත තිස්ස තෙරුණුවෝ ද ඒ අනුව විදසුන් නුවණ ඇති කරගෙන සසර දුකින් නිදහස් වුණා.
පූතිගත්ත තිස්ස තෙරුන්ට තමන්ගේ සිරුරේ ඇති තුවාල නිසා බොහෝ දුක් විඳින්නට, වේදනා ඉවසන්නට සිදු වුණා. ශරීරයේ වේදනාවන් දැනුණේ උන් වහන්සේගේ සිත පැවතීම නිස යි. ශරීරයෙන් සිත ඉවත් වූ පසු සිරුරට කොතරම් දුක් පීඩා තිබුණත් ඒවා නොදැනෙයි. නමුත් මානසික පීඩා, සිත නිසා ඇති වීම වැළැක්විය නොහැකි යි. ඒ නිසා සිතත්, ශරීරයත් දෙක ම දුක් ඇති වීමට හේතු වෙනවා. මේ සිතත්, ශරීරයත් පැවතීම දුකක් ම යි. පංච උපාදාන ස්කන්ධය ම දුකක් බව බුදු පියාණන් දේශනා කර ඇත්තේ ඒ නිසා යි.
මගේ සිරුරටත් වරින් වර ඇති වුණු ලෙඩ දුක් ආදිය නිසා බොහෝ දුකට පත් වුණු අවස්ථා තිබෙනවා. ශරීරයට ඇති වූ ඒ දුක් පීඩා දැනීමට හේතු වුණේ සිත පවතින නිස යි. නින්දගිය වෙලාවට (දුක් පීඩා තිබෙන අවස්ථාවක) ඒ දුක දැනුණේ නැහැ. සමහර විට සිහි නැති වී තිබුණා නම් සිත ක්‍රියාත්මක නොවන නිසා සිරුරට ඇති වූ ඒ පීඩාවන් නොදැනෙන්නට ඉඩ තිබුණා. ඊට අමතර ව මානසික දුක්, වේදනා, සිත් තැවුල්, අපේක්ෂාවන් ඉටු නොවීම් නිසා අලාභ පාඩු නිසා සිතින් දුකට පත් වූ අවස්ථා කොපමණ ද? මේ කායික මානසික සියලු දුක් ඇති වීමට හේතුව සිතේ සහ කයේ පැවැත්ම යි. පංචස්කන්ධයේ පැවැතීම දුකක්.
රසවත් ආහාරවලින් පෝෂණය කරමින්, සෝදා පිරිසිදු කරමින්, අගනා රන් රිදී ආභරණවලින් සරසවා, ආදරයෙන් රැක-බලාගන්නා මේ සිරුර ලෙඩ වෙන්නට පුළුවනි. ජරාවට පත් වී මරණයට පත් වීම අනිවාර්ය යි. ජීවිතය අනියත යි. නමුත් මරණය නියත යි. මම මගේ ලෙසින් සිතාගෙන සිටින ශරීරය තුළින් සිත ඉවත් වූ පසු ව වැඩකට නැති දරකඩක් මෙන් මහ පොළොවට වැටෙන දෙයක්. දර කැබැල්ලක් බිම වැටුණාට, එය දිරාපත් ව ගියාට, එහි පිළිකුලට පත් වෙන, ජරාවට පත් වෙන, දුර්ගන්ධය හමන, දෙයක් නැහැ. පොළොවට පස් වී යෑම පමණ යි. නමුත් මේ ශරීරය මළ කඳක් හැටියට පොළොවට වැටුණාම මළමිනිය කුණු වන විට, මුළු පළාත ම දුර්ගන්ධ යි. ඕජාව ගලා යන විට එතැන පොළොව පවා මහ පිළිකුල් බවට පත් වනවා. නිල මැස්සන්, පණුවන්, බලු, කපුටන් ආදීන්ට පමණයි එතැන සුවඳවත් තැනක් වන්නේ.
ටිකින් ටික මස් දිය වෙමින් අන්තිමට ඉතිරි වන්නේ ඇටකටු ටික විතර යි. ඒ ඇට කටු ටිකත් ටික කාලයක් යන විට දිරාපත් ව මහ පොළොවට පස් වී නොපෙනී යනවා. ජීවත් ව ඉද්දී හැම දෙනා ම ළං වෙලා සිටියත්, කුණු වී ගඳ ගහන මළ මිනිය ළඟට යන්නට, නැත් නම් මස් දිය වී ඉතිරි වී ඇති ඇටසැකිල්ලට ආදරය කරන්නට, “අපේ, මගේ” කියමින් නෑදෑකම් කියන්නට කවුරුත් ම එන්නේ නැහැ. ඇට සැකිල්ල දිරාපත් ව යනවා, පොළොවේ පසට ම එක් වී නොපෙනී යනවා. ඉතිරි ව ඇත්තේ හිස් බවක් පමණ යි. මේ හිස් බව දකින්නේ සිතින් ම යි. ඒ හිස් බව දකින සිතත් හැම මොහොතක ම පවතින්නේ නැහැ. අනිත්‍යයට යනවා. නැවත සිතක් ඇති වෙනවා. එයත් අනිත්‍යයට යනවා. නැවත ඇති වෙනවා. සැම සිතිවිල්ලක් ම අනිත්‍යයට යනවා. මෙලෙස අනිත්‍යයට යන සිතිවිලි තුළ මමෙක් ඇත්තේ කොතැන ද? සිතිවිලිත් අනිත්‍ය යි, අනාත්ම යි, අනිත්‍ය යි, අනාත්ම යි, අනිත්‍ය යි, අනාත්ම යි.
බොහෝ වේලාවකට පසු ව සමාධියෙන් මිදුණ ද සිතත්, ගතත් දෙකට ම දැනෙන ශාන්ත සුවපත් බවත් සමඟ දෑස නැවත නැවත පියවෙයි. සාධු! සාධු! සාධු! ශාන්ත සුවපත් බවින් මුළු ලොව ම සැනසේ වා!
No comments:
Post a Comment